අධිකරණයට අපහාස කළේ යැයි යූ ටියුබ් ක්‍රියාකරුවෙක් වන සුදත්ත තිලකසිරිට එරෙහිව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ගොනු කර තිබෙන පෙත්සමක් පෙබරවාරි මස 07 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.
ඒ, මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ කේ.එම්. ඒම්. දිසානායක යන අයෙගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (28)කැඳවනු ලැබු අවස්ථාවේදීයි.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වන හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය සමථයට පත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව සඳහන් කළා.
එවැනි සමථයක් ඇති නොවන්නේ නම් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීමට තමා කටයුතු කරන බවත් ජනාධිපති නීතිඥවරයා පවසා සිටියා.
මෙහිදී වගඋත්තරකාර සුදත්ත තිලකසිරි වෙනුවෙන් නීතිඥ උදාර මුහන්දිරම් සමඟ පෙනී සිටි ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ සමථය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.
ඒ පිළිබඳව අධ්‍යයනය කර කරුණු දක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව අදාල පෙත්සම පෙබරවාරි මස 07 වැනිදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.
2024 අංක 08 දරණ අධිකරණ ආයතන වලට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ පනත යටතේ සුදත්ත තිලකසිරි වරදක් සිදු කර ඇති බවත් ඒ අනුව නඩු විභාගයක් පවත්වා සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් මනුෂ නානායක්කාර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සිය පෙත්සමෙන් කියා සිටින්නේ වගඋත්තරකරු විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාව ඔස්සේ ඔහු විසින් සිදුකළ ප්‍රකාශ වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබෙන බවයි.