ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිස අද (03) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුවූ බවයි.
එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වනවිට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයට ලක්කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ අරමුණු සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් රජයේ පුළුල් එකඟතාව යළි මෙහිදී තහවුරු කළ ජනාධිපතිවරයා ජනතාව මත පැටවෙන පීඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළගාවීමේ වැදගත්කම ද අවධාරණය කළ බව සඳහන්.
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දී තිබුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම මෙහිදී අගය කළ IMF නියෝජිතයන් ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කරන ලද විකල්ප ප්‍රවේශයන් පිළිබඳව සාකච්ඡා කිරීමට ද එකඟතාව පළ කර තිබෙනවා.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වැඩසටහනේ තුන්වන සමාලෝචනය ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු කෙරුණු අතර ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් යම් ප්‍රමාදයන් ඇති විය හැකි නමුත්, බාධාවකින් තොරව එම කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහතික වී තිබෙනවා.
මෙලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡාවට එක්ව තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan),ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ නියෝජිත පිරිසක්.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත හා දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද ඊට එක්ව තිබෙනවා.