අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ අවදියේ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් හා දේපල අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනුකර තිබුණා.
එම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ ද ඊට මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ජුනි මස 16 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා .
ඒ එම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුට අදාළ අධිචෝදනා පත්‍රය 2017 වසරේදී ගොනුකරනු ලැබූවද ඊට අදාළ නඩු විභාගය මේ දක්වා ආරම්භ කිරීමට නොහැකි වී තිබෙන බව පෙන්වා දුන්නා.
මෙම නඩුව විත්තිකරුගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම සඳහා ගොනුකරන ලද්දක් බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා.
මෙම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කළ යුතු බවට අධිකරණය විශ්වාස කරන්නේ නම් නඩු විභාගය සඳහා දින නියම කරන ලෙස ඔහු ඉල්ලා සිටි අතර ඒ අනුව විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ජුනි මස 16 වනදා ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා නියම කළා.
2009 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ විමල් වීරවංශට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.
You sent