යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධතිය කඩා වැටී ජාතික ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල විය හැකි බව රහස් පොලිසියේ අන්තර්ජාල ආවේක්ෂණ විශේෂ බුද්ධි ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරුණු දක්වමින් ඊයේ (30) පැවසුවා.
අන්තර්ජාලය හරහා සිදුවන වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධතිය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීමට හැකි බවත් එම සයිබර් අපරාධකරුවන්ගේ ජාලය පිළිබඳව විමර්ශන සිදු කරන හෙයින් අත්අඩංගුවට පත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් රහස් පොලිසියේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා තිබුණා.
මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන බවට සහ ඔන්ලයින් ආදායම් මාර්ග හඳුන්වා දෙන බවට ෆේස්බුක් ටෙලිග්‍රැම් ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කර රුපියල් මිලියන 3.6කට අධික මුදල් වංචා කිරිමට යුක්‍රේන ජාතික තරුණයින් දෙදෙනෙක් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය එම කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ බුද්ධි ඒකකය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ලබන දහවෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට පත් හරුනොව් නිකිතා සහ සෙවෙට්ස් ලිබොමීර් නැමැති යුක්‍රේන ජාතික සැකකාර තරුණයින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන් බරපතළ ගණයේ අපරාධයක් අන්තර්ජාලය හරහා සිදු කර ඇති බවයි.
පසුගිය 22 දින ලංකාවට පැමිණි සැකකරුවන් පළ කළ දැන්වීම නරඹා එම දැන්වීම හරහා සිය පුද්ගලික තොරතුරු සැකකරුවන්ට මුදාහළ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් මගින් මෙම වංචාවන් සිදුකර ඇති බවද රහස් පොලිසිය පවසා තිබුණා.
කඩවත ප්‍රදේශයේ කාන්තාවකගේ බැංකු ගිණුමකින් හා බේරුවල ප්‍රදේශයේ තරුණයෙකුගේ බැංකු ගිණුම් වලින් මෙසේ මුදල් වංචා කර ඇති සැකකරුවන් එම මුදල් බයිනෑන්ස් හා යු එස් ඩි ටී වොලට්වල තැන්පත් කර ඇති බවත් සඳහන් කළා.
සැකකරුවන් මෙරටට පැමිණීමට පෙර මෙරට බැංකු පද්ධතිය ගැන පිළිබඳව පූර්ණ අධීක්ෂණයක් අන්තර්ජාලය හරහා සිදුකර ඇති බවද අදාළ ජාවාරම උණවටුන ප්‍රදේශයේ සිට සිදු කර ඇති බවට මෙතෙක් විමර්ශනවලින් අනාවරණය වු බවට පවසා තිබෙනවා.
සැකකාර තරුණයින් දෙදෙනා මෙම අන්තර්ජාල ජාවාරමට කිසිසේත් සම්බන්ධ නොමැති බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මිගාර ගුණරත්න මහතා අධිකරණයේ කරුණු දක්වමින් පැවසු බවට වාර්තා වනවා.
රහස් පොලිසිය ඉදිරිපත් කරන ටෙලිග්‍රෑම් නමැති අන්තර්ජාල සමූහයේ “අයිටැම්” නමින් පෙනී සිටින පුද්ගලයා උණවටුනට පැමිණි මෙම තරුණයින් දෙදෙනාට කතාකොට ඔහු සන්තකයේ ඇති ශ්‍රී ලංකා රුපියල් මුදල් යු එස් ඩි ටි හා බයිනෑන්ස් මුදල් (අත්‍යන්ත මුදල්) බවට පරිවර්තනය කර දෙන ලෙසත් එසේ පරිවර්තනය කර දෙන්නේ නම් සියයට විස්සක කොටසක් සැකරුවන්ට ලබා දෙන බවට පැවසූ හෙයින් ,සැකකරුවන් විසින් ගාල්ලට ගොස් එසේ සිදුකර තමන්ගේ සියයට විස්සක කොටස ලබාගෙන ඇති බව සඳහන් කර තිබෙනවා.
අවුරුදු 18 හා 19 වයසේ පසුවන තරුණයන් මෙරටට පැමිණි සංචාරකයින් බවත්,ඔවුන් වංචා කළේ යැයි කියන සියලු මුදල් ලබාදී හෝ සිය රටට යෑමට කැමති හෙයින් සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටි බව සඳහන්
සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධ බව රහස් පොලිසිය සඳහන් කළේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා සැකකරුවන් දෙදෙනා ලබන 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.