කහතුඩුව පොලිසියේ තනිකඩ භට නිවාසය තුළදී පොලිස් කොස්තාපල්වරයකුට වෙඩි තැබීමට තැත් කළ තවත් පොලිස් කොස්තාපල්වරයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබූ පිස්තෝල ගිනි අවියක් සහ ජීව උණ්ඩයක් ද පොලිස් භාරයට ගත් බව කහතුඩුව පොලිසිය පවසා සිටියා.
ඊයේ (18) අලුයම 5.40 ට පමණ පුද්ගලයන් දෙදෙනකු පැමිණිල්ලක් කිරීම සඳහා පොලිස් ස්ථානය තුළට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ උප සේවක ලෙස රාජකාරියේ යෙදී සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා උපසේවක පුටුව මත නිදාගෙන සිට තිබෙන බව පොලිසිය පවසනවා.
ඔහුව අවදි කිරීම සඳහා දුරකථන ක්‍රියාකරු ලෙස සිටි කොස්තාපල්වරයා අවස්ථා කීපයකදීම කතා කරා ඇතත් ඔහු අවදි නොවීම හේතුවෙන් හිසට පහරක් ගසා වතුර වත්කර තිබෙන බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වි තිබෙනවා.
පසුව ඒ බව දුරකථන ක්‍රියාකරු විසින් රාත්‍රී රාජකාරිය භාරව සිටි වෙනත් පොලිස් සැරයන්වරයෙකුට දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් අදාළ පුද්ගලයන් දෙදෙනාගේ පැමිණිල්ල ලියා අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පොතේ සටහනක් ද තබා තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
පසුව මේ සම්බන්ධයෙන් දුරකථන ක්‍රියාකරු සහ සැකකාර කොස්තාපල්වරයා අතර බස්වීමක්ද සිදු වී තිබෙන බව පැවසෙනවා.
අනතුරුව දුරකථන ක්‍රියාකරු ඔහුගේ තනිකඩ භට නිවාසය කරා පිටව ගොස් තිබෙන අතර රාත්‍රී ජංගම රාජකාරී නිමා කළ පොලිස් සැරයන්වරයෙකු විසින් ගෙනවිත් බාර දී තිබූ පිස්තෝල ගිනි අවියක් සැකකාර පොලිස් නිලධාරියා අවිපෙට්ටියට නොදමා ඔහු සන්තකයේ තබාගෙන සිට තිබෙනවා.
පසුව දුරකථන ක්‍රියාකරු රැඳී සිටින තනිකඩ භට නිවාසය වෙත ගොස් තිබෙන සැකකාර පොලිස් කොස්තාපල්වරයා එහි සිටි දුරකථන ක්‍රියාකරු ලෙස සේවය කළ කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැන වදිමින් වෙඩි තැබීම සඳහා ගිනි අවිය ක්‍රියාත්මක කර තිබෙන බව පැවසෙනවා.
ඒ සමඟම දිවා රාජකාරී සඳහා පිටවීම සඳහා සූදානම් වෙමින් සිටි වෙනත් කොස්තාපවරුන් දෙදෙනකු සැකකාර කොස්තාපල්වරයා වෙත කඩා පැන ඔහු සතුව තිබූ ගිනි අවිය උදුරා ගැනීම හේතුවෙන් සිදුවීමට ජීවිත හානියක් වැළකී ගිය බව පොලිස් නිලධාරියකු පවසා තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් අනුව 23 හැවිරිදි සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.