කොවිඩ් නිව්මෝනියාව හා සම්බන්ධ කළු දිලීර රෝගය ආසාදිත පුද්ගලයෙකු මෙරට පළමු වරට කරාපිටිය ශික්ෂණ රෝහලේදී මියගොස් ඇති බව වාර්තා වනවා.
ඇල්පිටියේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සැප්තැම්බර් මස 29 වැනිදා එලෙස මියගොස් ඇති බවයි කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රොහාන් පී. රුවන්පුර මහතා සඳහන් කළේ.
වැඩිදුර පරික්ෂණ සඳහා ඔහුගේ සිරුරු කොටස් රජයේ වෛද්‍ය පර්යේෂණායතනය වෙත යොමුකිරීමට පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය කටයුතු කර තිබේ.
මියගිය පුද්ගලයාගේ පෙණහලු ආශ්‍රිතව කළු දිලීර රෝගය වැළඳි ඇති බව තහවුරුවී ඇති බව ඊයේ නිකුත් කෙරුණු එම වාර්තාවට අනුව හෙළිවූ බව වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය තහවුරු කර සිටිනවා.
කොවිඩ් නිව්මෝනියාව හා සම්බන්ධ සංකූලතා හේතුවෙන් කළු දිලීර රෝගීන් මීට පෙර හඳුනාගත්ත ද, කළු දිලීර හේතුවෙන් මෙරට සිදුවූ පළමු මරණය මෙය වන බවයි කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රොහාන් පී. රුවන්පුර මහතා සඳහන් කළේ.