වාහන මිල අති විශාල වැඩිවීමක් බව ත් රටේ මිනිසුන්ගේ වාහන හීනය මරපු ආණ්ඩුවක් රට පාලනය කරන බවත් සමගි ජන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (04) පැවසුවා.
ආණ්ඩුව වාහන ආනයනයට අවසර දීම පැවසු ආකාරයටම සිදුකර ඇති නමුත් අවුරුදු 3ක් පරණ වාහන පමණක් ගෙන්වීමට ඉඩ දීම ඔස්සේ ගෙන්වීමට ජපන් වාහන හිඟ බව ඔහු පවසා සිටියා.
ජපානය දැන් වෙනත් රටවලට විකිණීමට දෙවන පෙළ වෙළෙඳපොළට වාහන දමන්නේ අවුරුදු 3ක් පරණ මට්ටමේ ඒවා පමණක් බවත් එවැනි වාහන ජපානයේ හොයා ගැනීමට අඩුවීම මීට හේතුව බවත් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරනවා.
ඒ අනුව, වාහන ගෙන්වන්නට අවසර දී ඇති නමුත් ගෙන්වීමට ජපන් වාහන වෙළෙඳපොළ තුළ හිඟ බව පැවසු ජයසේකර මහතා කුඩා වාහනයක් අරගෙන ගමන් යන්නට පුළුවන් බවට හීනයක් ආණ්ඩුව සෑදූ නමුත් අද එම හීන මරා ඇති බවට චෝදනා කළා.
මේ නිසා අද කුඩා වාහනයක් නොව කිසිම වාහනයක් ගැනීමට නොහැකි තැනකට ගොස් ඇති බවත් ඔහු සඳහන් කරනවා.
ඇක්වා රථයක් ලක්ෂ 160ක්, වැගන් ආර් රථයක් ලක්ෂ 70 ඉක්මවනු ඇති බවත් ඇල්ටෝ රථයක් ලක්ෂ 50කට වඩා යන බවත් ආණ්ඩුව මිනිස්සුන්ගේ වාහන හීනය මරා දමා ඇති බවත් පැවසුවා.
ආණ්ඩුවේ සමන්ත විද්‍යාරත්න නම් ඇමතිවරයෙක් ලක්ෂ 14ට වාහනයක් ගැනීමට හැකි බවට හීනයක් සෑදූ බවට දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් චෝදනා කර සිටියා.