වර්තමානය වන විට රජය සතුව යම් මුදල් ප්‍රමාණයක් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ සාමාජිකාවන්ට ජනාධිපති පදක්කම් පිරිනැමීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (31) පැවති උත්සවයට එක් වෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
“බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා. මගේ පවුලේ කිහිප දෙනෙකුම මෙම සංවිධනයේ ක්‍රියාකාරිව කටයුතු කළා. බාලදක්ෂ ව්‍යාපරය අප තවදුරටත් දියුණු කළ යුතුයි. බාලදක්ෂිකා සංගමය සඳහා අවශ්‍ය ගොඩනැඟිල්ලක් ලබාදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණා. එම ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බව සඳහන් කළ යුතුයි. බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට බලකාය මෙන්ම යොවුන් සේනානාංක සඳහා අවශ්‍ය මුදල් රජය වෙන් කර තිබෙනවා. අනෙක් සංවිධාන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම මුදල් ප්‍රමාණයක් ආණ්ඩුවෙන් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
මෙලෙස මුදල් වෙන් කිරිමට හැකියාව ලැබී තිබෙන්නේ ආණ්ඩුවට දැන් මුදල් ප්‍රමාණයක් තිබෙන නිසයි.මම මේ රට බාර ගනිද්දි ආණ්ඩුවට මුදල් තිබුණේ නැහැ. අපි දැන් අසීරු කාලය පසු කර තිබෙනවා. පාඩු ලබන රාජ්‍ය සංස්ථාවලට මුදල් යොදවන එක අපි දැන් නතර කරලා තිබෙනවා. ඒ වගේම විදේශ ණය ලබා ගැනිමද නතර කර තිබෙනවා. අපිට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණයත් අඩු වී තිබෙනවා. ඒ නිසා දැන් ආණ්ඩුවට යම් මුදල් ප්‍රමාණයක් තිබෙනවා. එම මුදල් තරුණ පරපුර වෙනුවෙන් යෙදවීමට මම බලාපොරොත්තු වෙනවා.”