මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි 17 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (17) නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ, මහේන් වීරමන් සහ සුජීව නිශ්ශංක යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගත්තා.
එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.
ඉන් අනතුරුවයි වැඩිදුර විභාගය සඳහා පෙබරවාරි මස 17 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.
2010 වසරේ ජනවාරි 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.