යාල වනෝද්‍යානයෙන් සමනල විශේෂ 92ක් ඇතුළුව ආවේණික කෘමීන් සිය ගණනක් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ ඉතාලි ජාතික පියෙකුට සහ ඔහුගේ පුතාට ශ්‍රී ලංකා රුපියල් කෝටි 6ක දඩයක් නියම කර තිබෙනවා.
එම මුදල අමෙරිකානු ඩොලර් 200,000කට සමාන වේ.
නීතිවිරෝධී ලෙස කෘමීන් එකතු කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැප්තැම්බර් මස මුලදී ඔවුන් වරදකරුවන් කර ඇති අතර ඔවුන් දෙදෙනාට තිබූ දඩය මෙරට වනජීවී අපරාධයක් සඳහා නියම කර ඇති ඉහළම දඩය නියම ලෙස සඳහන්.
තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා මහතා විසින් පසුගිය 3 වනදා එම නියෝගය සිදුකර තිබුණා.
යාල ජාතික වනෝද්‍යානයේ ආරක්ෂකයින් විසින් 68 හැවිරිදි ලුයිගි ෆෙරාරි සහ ඔහුගේ 28 හැවිරිදි පුත්‍රයාව මේ වසරේ මැයි 8 වනදා කෘමීන් අඩංගු භාජන සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.
එම සැකකරුවන් දෙදෙනාට චෝදනා 810ක් එල්ලකර තිබුණ ද පසුව එය 304 දක්වා අඩුකර තිබෙනවා.
ඉතාලි ජාතිකයින් වෙනුවෙන් වෙනත් ප්‍රදේශවලින් පැමිණි නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර ඔවුන් විත්තිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් පවසා තිබුණේ සැකකරුවන් දෙස සානුකම්පිතව බලා අවම දඩයක් නියම කරන ලෙසයි.
එහිදී විත්තියට කරුණු පැහැදිලි කළ මහෙස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ මෙම සිද්ධියට අදාළ විත්තිකරුවන් විදේශ ජාතිකයින් නිසා මෙම නඩුකරය ඉක්මනින්ම විසඳීම සඳහා අධිකරණය ඉතා ඉක්මනින් කටයුතු කළ බවත් ඊට අදාළ විශේෂඥ වාර්තා කඩිනමින් කැඳවීමට හැකිවූ බවත් ය.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව මෙය ආරක්ෂිත සතුන් සම්බන්ධයෙන් කළ වරදක් බැවින් ගොනු කරන ලද චෝදනා 304ටම ඔවුන් දෙදෙනා වැරදිකරුවන් වන බව මහෙස්ත්‍රාත්වරයා කියා සිටියා.
ඒ අනුව එක් එක් චෝදනාවට අදාළ දඩ මුදල අධිකරණයට කියා සිටි අතර එහි මුළු එකතුව ලෙස රුපියල් හයකෝටි එක් ලක්ෂ අසූ දහසක මුදලක් ගෙවන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා චූදිතයින්ට නියෝග කර තිබෙනවා.
මේ මස 29 වන දින දඩ මුදල ගෙවන ලෙසට අධිකරණය නියෝග කළ අතර දඩ මුදල ගෙවන තෙක් මෙම විදෙස් ජාතිකයින් දෙදෙනාට රටින් පිටව යාමට කිසිදු අවසරයක් නොමැති බවද සඳහන් කළා.