ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන නොදුන් බව පැවසුවද කිහිපදෙනෙකු රජයේ වාහන භාවිත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා චෝදනා කරනවා.
අද (23) පාර්ලිමේන්තුවේ දී වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ලබාදුන් වාහන සංඛ්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් යොමු කළ අතර එයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලබාදුන් පිළිතුරට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර සිටියා.
අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ 10 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමක් සිදුකරන නොමැති බවයි.
එහෙත් විශේෂ අවශ්‍යතාවයක් ලෙස සලකා පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාට KR – 5844 යන අංකය දරණ මෝටර් රථය ජනාධිපති කාර්යාලය මඟින් ලබාදී ඇති බවත් අගමැතිනිය පැවසුවා.
නමුත් එම වාහනය සඳහා රියදුරෙක් ලබාදී නොමැති බවත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඉන්ධන ලබාදීමක් ද සිදුකර නොමැති බව අගමැතිනිය අදාළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා සිටියා.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා,
“වාහන මාදිවෙල තියෙනවා. කැබ් පදිනවා. ඔබතුමිය කියනවා වගකීමෙන් දීලා නෑ කියලා. මම ඒක පිළිගන්නවා. අද රේන්ජ් රෝවර් මාදිවෙල ගෙවල් අස්සේ තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් පදිනවා. ඒකට වියදම වී8 එකට වඩා වැඩියි. නම කියන්න ද ? වසන්ත සමරසිංහ.
සමාජ මාධ්‍යයේ ගිය PH-1208 වාහනය සංචාරක අමාත්‍යාංශයේ ලේකම් යටතේ ලියාපදිංචි කරලා තියෙන්නේ. ඔයාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මේ වාහනය පදිනවා. නම කියන්නේ නෑ…. බණ්ඩාර වෙල පූනාගල වත්තේ වල් අදිනවා.පුනාගල හැම ෆේස්බුක් එකකම ගියා…පස්සර,ලුණුගල සම්බන්ධීකරණ කමිටුවට ආවා….මේ පොටෝ දාලා තියෙන්නේ මම පුනාගල වත්තට ගිහින් නෙමෙයි……..1208 මේ ආණ්ඩුවට හොද නැහැ…….”