සති 7 කට වැඩි ළදරු කළලයක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු ලවා විනාශ කරවාගත් බව කියන දෙමටගොඩ ප්‍රදේශයේ එක් දරු මවක් ලබන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය අද (17) නියෝග කළා.
දෙමටගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ 14 මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
සැකකාර කාන්තාවගේ සැමියා වන සිසිර සම්පත් නමැති අයෙකු දෙමටගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල ගබ්සාව සිදු කළ බව කියන සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය අධිකරණයට දැන්වුවා.
පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ නාලක ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර කාන්තාව නොවැම්බර් මස 12 වැනි දින මෙම ගබ්සාව කරගෙන ඇති බවයි.
වෛද්‍ය උපදෙස් මත රුපියල් 37500 මුදලකට මෙම සැත්කම කළ බව සැකකාරීය වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ මහින්ද මහතා කරුණු දක්වමින් පවසා තිබෙනවා.
දෙපාර්ශවයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරමින් ගබ්සාව සිදු කළ බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමයපියවර ගන්නා ලෙසද දෙමටගොඩ පොලිසියට නියෝග කළා.