27 C
Colombo
Saturday, May 25, 2024

කෝවිඩ් උපත : වූහානයේ ‘විස්මිත ඛේදවාචකය’ නිර්මාණය කෙරුවේ මිනිසාද නැතිනම් ස්වභාව ධර්මයද?

- Advertisement -

වසරකට වැඩි කාලයක් කෝවිඩ්-19 වසංගතය ලොව පුරා රටවල් 214 ක ජීවිත බිඳ දමා ඇත. නුදුරු දිනෙක ඉන් මිය ගිය සංඛ්‍යාව ලක්ෂ 30 ක් වනු ඇත.

එහි මූලාරම්භය නැතිනම් උපත ගැන තවමත් නිශ්චිතව, නිවැරදිව කිව නොහැක.

ආණ්ඩුවල හා විද්‍යාඥයින්ගේ දේශපාලන න්‍යාය පත්‍ර විසින් එය බොඳ වූ අවුලක් බවට පත්කර ඇත. එය ලිහා ගැනීමේදී ප්‍රධාන මාධ්‍ය අසරණව ඇත.

ඒ ගැන දීර්ඝ ගවේශනාත්මක රචනයක් මේ වනවිට වසර 75 ක් පැරණි “පරමානු විද්‍යාඥයින්ගේ බුලටීනයට” විද්‍යා ලේඛකයෙකු වන නිකලස් වේඩ් විසින් සම්පාදනය කර, පසුගිය (2021) මැයි 05 වන දින අන්තර්ජාලයේ පළකර තිබිණ.

ඔහු Nature, Science වැනි සඟරාවලත් නිව්යෝක් ටයිම්ස් පුවත් පතේත් මාණ්ඩලික ලේඛකයෙකු ලෙස කලක් සේවය කළ අයෙකි.

සිය රචනය ආරම්භයේදීම නිකලස් වේඩ් කියන්නේ, සිදු වූව ගැන සැළකිය යුතු ඇඟවීම් කෙරෙන සත්‍ය විද්‍යා තොරතුරු තෝරා බේරා, කියවන්නාට තමන්ගේ තීරණයකට එළැඹීමට හැකි සාක්ෂි ලෙස ඔහු ඉදිරිපත් කරන බවය. අනතුරුව ඔහු දොස් පැවරීමේ සංකීර්ණ කාරණාව ඇගයුමකට ලක් කරන්නට උත්සාහ කරන බවය. එය චීනයෙන් ආරම්භ වූවත් චීන ආණ්ඩුවට එහා යන්නක් බවත් ඔහු කියන්නේය.

ගෝලීය වසංගතයට හේතු වූ මේ වෛරසය නිල වශයෙන් හඳුවන්වනු ලබන්නේ “සාස්-කෝව්-2” යනුවෙනි.

කෙටියෙන් එයට “සාස්-2” යැයි කියනු ලැබේ.

බොහෝ අය දන්නා පරිදි එහි උපත පිලිබඳව ප්‍රධාන කතා දෙකක් ඇත.

එකකට අනුව එය වන සතෙකුගෙන් මිනිසාට බෝ වූවකි. අනෙකට අනුව එය පර්යේෂණාගාරයක අධ්‍යනය කෙරුණු වයිරසයක් ඉන් පිටතට පැන ගත්තකි.

ඒ කතා දෙක සතු පිළිගත හැකි තර්ක නිකලස් වේඩ් ඉදිරිපත්කර ඒවායෙන් වඩා විශ්වසනීය පැහැදිලි කිරීමක් ඇත්තේ කවරකදැයි අසන්නේය. එහිදී වඩාත් වැදගත් වනනේ ඒ කතා දෙක සඳහාවන තර්ක වෙනුවෙන් සෘජු සාක්ෂි නොමැති වීමය.

කතාන්දර දෙක
පළමු වරට 2019 දෙසැම්බරයේදී වූහානයේ වසංගතය ව්‍යාප්ත වූ විට චීන බලධාරීන් කියුවේ වූහානයේ වන සතුන් ආහාරයට අලෙවි කරන මාර්කෙට්ටුවෙන් බොහෝ දෙනෙකුට එය බෝවී ඇති බවය.

එය 2002 දී වවුලන්ගෙන් උරුලෑවන්ට බෝවී වන සතුන් ආහාරයට අලෙවි කරන වෙළඳ හල් මගින් මිනිසුන්ට බෝවූ “සාස්-1 වයිරසය” විශේෂඥයින්ට මතක් කෙරුවකි.

වවුලන්ගෙන් බෝවූ තවත් වෛරස් වසංගතයක් වූයේ 2012 දී ව්‍යාප්ත වූ “මර්ස් වසංගතය” විය. එහි අතරමැදියා වූයේ ඔටුවා ය.

“සාස්-1 වයිරසය” සහ “මර්ස් වයිරසය” අතර ඥාති සම්බන්ධයක් ඇත. එබැවින් වන සතුන් ආහාරයට අලෙවි කරන වෙළඳහල් ප්‍රධාන සාධකයක් ලෙස පිළිගැනුනි.

එහෙත් නොබෝ දිනකින් මේ අලෙවිහල් සාධකය චීන පර්යේෂකයින්ගේ අලුත් සොයා ගැනීම් විසින් ප්‍රශ්න කෙරුණි.

වූහාන් හි මේ අලෙවිහල් හා කිසිදු සම්බන්ධයක් නොතිබූ කලින් බෝ වූ පුද්ගලයින් ඔවුන්ට හමුව තිබිණ.

එහෙත් ඒවා එතරම් වැදගත් නොවූයේ ස්වාභාවික ව්‍යාප්තිය සම්බන්ධ ඉදිරියේදී තව තොරතුරු සමූහයක් ලබෙන්නට නියමිතව තිබූණෙනි.

කොරෝනා වෛරස් පර්යේෂණ පිළිබඳව ජාත්‍යන්තරව ප්‍රසිද්ධ “වූහාන් වෛරස් විද්‍යා පර්යේෂණාගාරය” පිහිටා ඇති නගරය වූහාන් ය.

සාස්-2 වයිරසය එම පර්යේෂණාගාරයෙන් පිට වූවකැයි අනුමාන කළ හැක්කකි.

ඒ අනුව කෝවිඩ්-19 වයිරසයේ උපත පිළිබඳව සාමාන්‍යයෙන් පිළිගත හැකි කතා දෙකක් අප හමුවේ ඇත.

ස්වාභාවික ව්‍යාප්තියේ සාධක හිඟය
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කමිටුවක් චීනයට ගිය පසුගිය (2021) පෙබරවාරි දක්වා කෝවිඩ්-19 වෛරසයේ උපත පිළිබඳ ප්‍රධාන මාධ්‍යයන්හි ජනප්‍රිය අර්ථ දැක්වීම වූයේ ස්වාභාවික ව්‍යාප්තිය පිළිබඳ පැහැදිලි කිරීමය.

එම කමිටුවේ සංයුතිය හා ඔවුන්ට ලබා දුන් අවසර සම්බන්ධව චීනය ලොකු බලපෑමක් කළේ ය.

කෝවිඩ්-19 උපත සෙවීමේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයෙකුවන පීට ඩසාක් ඇතුලු එම කමිටු සාමාජිකයින් චීනයට යන්නට පෙර, සංචාරය අතරදී සහ ඉන් පසුවත් වෛරසය පර්යේෂණාගාරයෙන් පිටවූවක්ය යන කතාවට කිසිදු පදනමක් නැතැයි දිගින් දිගටම කීහ.

චීන බලධාරීන් බලාපොරොත්තු වූ ප්‍රචාරක වාසිය එයම නොවන්නට ඉඩ ඇත.

එහෙත් වෛරසය ස්වාභාවිකව පැතිරුණු බවට ඉදිරිපත් කරන්නට ඔවුන්ට කිසිදු වැදගත් සාක්ෂියක් නොවුනි.

“මෙය පුදුමයකි” යැයි නිකලස් වේඩ් ඔහුගේ රචනයෙහි ලියා තිබුණි.

“සාස්-1 වසංගතය ආරම්භ වී මාස 04 ක් යන්නට පෙර එහි අතරමැදි සාධකය හඳුනා ගනු ලැබිණ.

මර්ස් වසංගතයේ අතරමැදි සාධකය මාස 09 ක් යත්ම හඳුනා ගනු ලැබිණ.

එහෙත් මේ සාස්-2 වයිරසය වසංගතයක් ලෙස පැතිරෙන්නට පටන් ගෙන මාස 15 ක් පමණ ඉක්ම ගොසින්ද චීන පර්යේෂකයින්ට මුල් වවුල් ගහනය හෝ සාස්-2 වයිරසයේ අතරමැදි සාධකය හෝ සොයා ගන්නට නොහැකිව ඇත.

එවගේම වූහාන් ජනගහනය ඇතුළත් චීන සමාජයේ 2019 දෙසැම්බරයට පෙර ආසාදනය වූ කිසිවකු සම්බන්ධ තොරතුරු සොයා ගැනීමටද නොහැකිව ඇත.”

එබැවින් ස්වාභාවික ව්‍යාප්තිය පිළිබඳ ආරම්භයක් ලෙස ඇති පැහැදිලි කිරීම් කෙසේ වෙතත් වසරකට පසුවද සනාථ කිරීම සඳහා කිසිදු සාක්ෂියක් නොමැති, අසම්පූර්ණ නිගමනයක් ලෙස එය ඉතිරිව තිබෙන්නකි.

එය එසේ වන තාක් කල් සාස්-2 වෛරසය පර්යේෂණාගාරයකින් පිට වූවක් යන්නට වැඩි අවධානයක් යොමු කිරීම තාර්කික වන්නකි.

වසංගතයකට හේතුවන අලුත් වෛරසයක් හැදීමට කිසිවකුට ඇති වුවමනාව කුමක්දැයි නිකලස් වේඩ් අස්නනේය.

එයට පිළිතුරු දෙමින් ඔහු කියන්නේ වෛරස විද්‍යාඥයින් වෛරසවල ජාන වෙනස් කිරීමේ දැනුම ලබා ගත් පසු, මනුෂ්‍ය ශරීරයට ඇතුලු වන්නට හැකි සත්ව වෛරසයක් වසංගතයක් ලෙස ව්‍යාප්ත වන්නට පෙර, ඊට ඉදිරියෙන් කටයුතු කිරීමට තමන්ට හැකි යැයි ඔවුන් තර්ක කළ බවය.

ඒ අනුව පර්යේෂණාගාර අත්හදා බැලීම් සාධාරණය කෙරෙන්නේ මිනිසුනට ආසාදනය විය හැකි භයානක සත්ව වෛරස කල් තියා පරීක්ෂා කිරීමේ ඇති වාසිය ගැන කීමෙන්ය.

සාස්-1 හා මර්ස් වසංගත වලට හේතු වූ වෛරස වවුවලන්ගෙන් ආරම්භ වූ වෛරස වූයෙන් පර්යේෂකයෝ වවුලන්ගේ කොරෝනා වෛරස අධ්‍යනයට දැඩි ලෙස උනන්දු වූහ.

වවුල් වෛරස පිළිබඳ චීනයේ ප්‍රධානම පර්යේෂිකාව වූ ෂී සෙං-ලී හෙවත් “වවුල් නෝනා” වූහාන් වෛරස් විද්‍යා පර්යේෂණාගාරයේ ඇයගේ පර්යේෂකයින් කණ්ඩායම සමග දකුණු චීනයේ යුනාන් ලෙන්වල වවුලන්ගෙන් සිය ගණනක් කොරෝනා වෛරස් වර්ග එකතු කරගෙන ඇත.

ඇය පසුව උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයයේ කොරෝනා වෛරස පිළිබඳ විශේෂඥ පර්යේෂක රැල්ෆ් එස්. බාරික් සමග පර්යේෂණ සඳහා හවුල් වූවාය.

මේ දෙපළ 2015 නොවැම්බරයේදී සාස්-1 වෛරසය හා වවුලකුගෙන් ලබා ගන්නා ලද වෛරසයක් (SHC014-CoV) සමග බද්ධකර මනුස්ස ශරීරයේ ශෛල වලට ආසාදනය වීමේ හැකියාවක් ඇති අලුත් වෛරසයක් පර්යේෂණාගාරයෙහි නිර්මාණය කළහ.

එය SHC014-CoV$SARS1 නම් “ද්වි-ජාන” වයිරසය ලෙස හඳුන්වනු ලැබිණ.

වූහාන් වෛරස් විද්‍යා පර්යේෂණාගාරයේ ඇතුළත
වවුලන්ගේ වෛරසවල ජාන වෙනස්කර වෙනත් සතුන්ට ආසාදනය කළ හැකි වෛරස හදන පොදු ක්‍රමයක් බාරික් ඇයට උගන්වා තිබිණ.

ෂී සෙං-ලී නැවත චීනයට පැමිණ මනුෂ්‍ය ශෛල වලට ආසාදනය කළ හැකි වෛරස හැදීමේ ඇයගේ නිම නොවුනු පර්යේෂණ ආරම්භ කළාය.

ඒ වෙනුවෙන් යොදා ගනු ලැබූයේ ජාන වෙනස්කර මනුෂ්‍ය ශෛල මෙන් ප්‍රතිචාර දක්වන ආකාරයට ප්‍රතිචාර දැක්වීමට හැඩ ගැස්වූ මීයන් ය.

විශ්වාස කිරීමට අසීරු නමුත් ෂී සෙං-ලී ගේ පර්යේෂණ සඳහා මුදල් ආධාර දෙනු ලැබූයේ ලොව පොහොසත්ම ජීව වෛද්‍ය පර්යේෂණ ආයතනය වන ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවේ ජාතික සෞඛ්‍ය ආයතනයේ කොටසක්වන “ආසාත්මිකතා හා බෝවන රෝග පිලිබඳ ජාතික ආයතනය” විසින් ය.

එම මුදල් ඇයට දෙනු ලැබූයේ නිව්යෝක් නුවර ඉකෝ-හේල්ත් එලායන්ස් නම් සන්ධානයේ ප්‍රධානියා වූ පීට ඩසාක් හරහා ය. ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස ඔහු ඇයව අතුරු කොන්ත්‍රාත්කාරියක ලෙස යොදා ගත්තේය.

ඉන් අපේක්ෂා කෙරුණේ සාස්-2 වැනි මනුෂ්‍ය ශෛල ආසාදනය කළ හැකි වෛරසයක් හදා එය වවුලන්ගෙන් මනුෂ්‍ය ශරීරට ඇතුලුවන වෛරස ක්‍රියාත්මකවන ආකාරය අත්හදා බැලීම ය.

ෂී සෙං-ලී ගේ සියලු වාර්තා සීල් තබා ඇති හෙයින් ඇයගේ එම පරීක්ෂණ සම්පූර්ණකර ඇය එවැනි සාස්-2 වැනි වෛරසයක් වූහාන් වෛරස් විද්‍යා පර්යේෂණාගාරයේ හදා තිබුණි දැයි නොදනී.

රට්ගර්ස් විශ්ව විද්‍යාලයයේ අනුක ජීව විද්‍යාඥයෙකු හා ජෛවාරක්ෂාව පිළිබඳ විශේෂඥයෙකු වන රිචඩ් එච්. ඊබ්‍රයිට් ට අනුව, ෂී සෙං-ලී සමග වන වූහාන් වයිරස් විද්‍යා පර්යේෂණාගාරයේ පර්යේෂකයින් ඔවුන් යොමු වූ දිසාව අනුව සහ විශ්ලේෂණය සඳහා තෝරාගත් ජානමය ව්‍යුහ අනුව සාස්-2 හෝ එවැනි වෛරසයක් නැතත් ඊට ආසන්න වෛරසයක් හෝ හදා තිබිය යුතු ය.

සාස්-2 වෛරසයේ උපත පිළිබඳ එය පර්යේෂණාගාරයකින් පිට වූවක් යැයි වන කතාවට, වූහාන් වෛරස් විද්‍යා පර්යේෂණාගාරය දෙසට නිකම්ම අත දිගු කිරීමක් නොවන බැව් දැන් පැහැදිලි වනු ඇත.

එය සවිස්තරාත්මක යෝජනාවක නිශ්චිත ව්‍යාපෘතියක් සඳහා ඇමෙරිකානු “ආසාත්මිකතා හා බෝවන රෝග පිලිබඳ ජාතික ආයතනය” විසින් මුදල් ආධාර දෙනු ලැබූවකි.

වූහාන් වෛරස් විද්‍යා පර්යේෂණාගාරයේ සාස්-2 වෛරස පර්යේෂණ සඳහා ෂී සෙං-ලී වෙත ඇමෙරිකානු “ආසාත්මිකතා හා බෝවන රෝග පිලිබඳ ජාතික ආයතනය” විසින් එම ව්‍යාපෘති මුදල් දෙනු ලැබූයේ ඉකෝ-හේල්ත් සන්ධානයේ සභාපති හා වෛරස් විශේෂඥයෙකු වන පීට ඩසාක් හරහා ය.

පීට ඩසාක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෝවිඩ් පරීක්ෂණ කමිටුවේ ප්‍රධාන වෛරස් විශේෂඥයෙකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මීට තෙමසකට පමණ ඉහතින් කෝවිඩ්-19 යේ මූලාරම්භය ගැන පරීක්ෂා කිරීමට චීනයට යවනු ලැබූ චීන බලධාරීන් එකඟ වූ කමිටුවේ සාමාජිකයෙකි.

ඔහු පසුගිය මාස 15 පුරාම කෝවිඩ්-19 වෛරසය පර්යේෂණාගාරයකින් පිට වන්නට ඇතැයි වූ කතාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කෙරුවෙකි.

කෝවිඩ්-19 වෛරසය ස්වාභාවික මූලාරම්භයක් ඇතැයි ලෝක මතයක් හැදීමට සහ එය ප්‍රධාන මාධ්‍යයන්හි පිළිගැනීමට පත් කෙරුණු මාධ්‍ය ප්‍රකාශ කළ ඉහළ පෙළ වෛරස් විශේෂඥ කණ්ඩායම් දෙකක් වූහ.

“කෝවිඩ්-19වෛරසයට ස්වාභාවික මූලාරම්භයක් නැතැයි කියන ‘කුමන්ත්‍රණ න්‍යායට’ එරෙහිව, එය දැඩිව ප්‍රතික්ෂේප කරමින් අපි එක්ව සිට ගන්නෙමු” යැයි එක් කණ්ඩායමක් 2020 පෙබරවාරි 19 වන දින ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර එය “ලාන්සෙට්” වෛද්‍ය සඟරාවෙහි පළ කෙරිණ. සිදුව ඇත්තේ කුමක්දැයි හරියාකාරව කීමට තරම්, ඒ වනවිට කිසිවකුට කාලයක් නොතිබිණ.

පසුව හෙළිදරව් වූ අයුරු එම ප්‍රකාශය සඳහා විශේෂඥයින් සංවිධානය කර ගැනීමටත් එය කෙටුම්පත් කිරීමටත් පීට ඩසාක් හවුල්වී තිබිණ.

දෙවැනි ප්‍රකාශය, 2020 මාර්තු 17 වන දින “නේච මෙඩිසින්” සඟරාවෙහි පළ කෙරුණු මතවාදී වාර්තාවක් විය.

එය ස්ක්‍රිප්ස් පර්යේෂණ ආයතනයේ වෛරස් විශේෂඥ ක්‍රිස්ටියන් ජී. ඇන්ඩර්සන් මූලික වූ විශේෂඥ කණ්ඩායමකගේ කර්තෘත්වයෙන් වූවකි.

“පර්යේෂණාගාරයක සාස්-කෝව් වැනි වයිරසයක් සමගින් කෙරුණු වෙනස්කම් ඔස්සේ සාස්-කෝව්2 වෛරසය හැදුනක් යැයි කිසිසේත් කිව නොහැක” යයි ඔවුන්ගේ ලිපියෙහි වූ සඳහනකි. මෙයද ඩසාක් හවුල් වූ ප්‍රකාශය මෙන්ම විද්‍යාත්මක ප්‍රකාශනයක් නොව දේශපාලන මැදිහත්වීමකි.

වසංගත සඳහා පර්යේෂණාගාර වෙත වරද පැටවීමේදී ඩසාක් වැනි වෛරස් විශේෂඥයින්ට බරපතල ගැටළු ඇතිවිය හැකිව තිබිණ.

පසුගිය අවුරුදු 20 ට වැඩි කාලයක් ඔවුන් ස්වාභාවික වෛරස්වලට වඩා භයානක වෛරස් වර්ග පර්යේෂණාගාරවල හැදීමේ අතිශය අවදානම් සහගත අත්හදා බැලීම් වල නිරත වූවන්ය.

එවැනි අත්හදා බැලීම් ඉතා ආරක්ෂාකාරීව කළ හැකි බවත් ස්වාභාවික ක්‍රියාවලියට ඉදිරියෙන් යමින් ඔවුන්ට ස්වාභාවිකව ඇති විය හැකි වසංගත ගැන අනාවැකි කීමටත් ඒවා වළකාලීමටත් හැකි වන්නේ යැයි කීහ.

වූහානයේ වසංගතය පැතිරෙන්නට පෙර 2019 දෙසැම්බර 09 වන දින පීට ඩසාක් රූපවාහිනි සාකච්ඡාවකට සහභාගි විය. එහිදී ඔහු කියුවේ “වූහාන් වෛරස් විද්‍යා පර්යේෂණාගාරයෙහි අවුරුදු 06 ක 07 ක පමණ කාලයක පර්යේෂණ මගින් අපට සාස් වයිරසයට ඉතාම ආසන්න වයිරස් වර්ග 100 ට වඩා සාර්ථකව අලුතින් සොයා ගන්න පුළුවන් වුනා” යැයි කියා ය.

ඔහු ඉතා කෙටියෙන් විස්තර කරන්නට උත්සාහ කළේ, මනුෂ්‍ය ශෛල වලට ආසාදනය විය හැකි අලුත් කොරෝනා වෛරසයක් සොයා ගත් පසු, එහි කූරු වලින් ලබා ගන්නා ප්‍රෝටීන එන්නතක් හැදීමට පාදක කරගත හැකි බවය.

දින කිහිපයකට පසු වූහානයෙන් වාර්තා වූ කෝවිඩ් වසංගතය කණ වැටුණු පසු ඩසාක්ට කුමක් හිතුනේදැයි කාටවත් හිතන්නට නොහැකි වන්නට ඇත.

වවුලන්ගේ කොරෝනා වෛරසයෙන් මනුෂ්‍යයින්ට ආසාදනය විය හැකි වෛරසයක් හැදීමේ වූහාන් පර්යේෂණාගාරයේ අරමුණ වගේම ආයතනයේ පරීක්ෂකයින්ට ආසාදනය වීමේ අවදානම ඉවත් කරන්නට එන්නතක් නොතිබීමට අමතරව ආයතනයට තිබූ නොහැකියාවත් අන් බොහෝ දෙනෙකුට වඩා හොඳින් ඩසාක් දැන සිටින්නට ඇත.

ඩසාක් දැන හෝ නොදැන සිටි ඉතාම දියුණු නවීන පර්යේෂණාගාර වලින්ද වෛරස නොදැන පිටවීමේ දිගු ඉතිහාසයක් ඇත.

1960 ගණන්වල හා 70 ගණන්වල එංගලන්තයේ පර්යේෂණාගාර වලින් තෙවරක්ම වසූරිය වෛරසය නොදැන පිටව ඇත.

ඒ හේතුවෙන් ආසාදන 80 ක් හා මරණ 03 ක් සිදුව ඇත.

හැම වසරකම වාගේ භයානක වෛරස එළෙසින් පිටව ඇත.

අසන්න කාලය ගැන කතා කළහොත් පර්යේෂණාගාරවලින් පැන යාමේ හොඳම වෛරසය වන්නේ සාස්-1 වෛරසයයි.

එය සිංගප්පූරුව, තායිවානය සහ සතර වතාවක් බෙයිජීංහි ජාතික වෛරස විද්‍යා ආයතනයෙන් නොදැන පිටව ඇත.

පර්යේෂණාගාරවල ආරක්ෂාව සම්බන්ධ ඇගයීම් සතරක් ඇත.

ඒ අනුව BSL-1 (ජීවාරක්ෂක මට්ටම) සිට BSL -4 දක්වා පර්යේෂණාගාර වර්ග කෙරෙන්නේය.

ඉන් වඩාත් සුපිරි ආරක්ෂාවක් ඇත්තේ BSL-4 වර්ගයේ පර්යේෂණාගාර වල ය. එබොලා වැනි ඉතා භයානක රෝගකාරක වෛරසයක් සඳහා යොදා ගනු ලබන්නේ එවැන්නකි.

වූහාන් පර්යේෂණාගාරයට BSL-4 මට්ටමේ අලුත් පර්යේෂණාගාරයක් තිබිණ.

බෙයිජිං නුවර සිට එහි ගිය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පරීක්ෂකයින්ගේ 2018 ජනවාරි 19 වන දිනැති රහස්‍ය කේබලයකට අනුව එවැනි පර්යේෂණාගාරයක වැඩ කරන්නට හැකි පුහුණු තාක්ෂණික සේවකයින් එහි නොවුනි.

ෂී සෙං-ලී ගේ බොහෝ පර්යේෂණ කටයුතු සිදුකරනු ලැබ ඇත්තේ ඇයගේ ප්‍රකාශනවල හා වෙනත් වාර්තාවල සඳහන්ව ඇති අයුරු BSL-2 හෝ 3 මට්ටමේ පර්යේෂණාගාර වලය.

රට්ගර්ස් විශ්ව විද්‍යාලයයේ ඊබ්‍රයිට් ට අනුව එවැනි පර්යේෂණාගාරවල සාස්-කෝව්-2 වෛරස වැනි වෛරස පිළිබඳව අත්හදා බැලීම් කිරීම ඉතා අනතුරුදායකය.

“ඉතාම පැහැදිලි කාරණාව නම් මේ කාර්යන් එහි නොකළ යුතුව තිබුණා පමණක් නොවේ. ඒ සඳහා මුදල් ආධාරද නොකළ යුතුව තිබුණා” යැයි ඔහු කියා තිබුණි.

සාස්-2 වෛරසය නිර්මාණය කෙරුවක් යැයි පළමුවෙන්ම සවිස්තරාත්මකව තර්ක කෙරුවේ රුසියානු හා කැනේඩියානු ජීව තාක්ෂණ ව්‍යවසායකයෙකි.

යූරි ඩෙයිගින් ගේ එම නිබන්ධනයක් බඳු ලිපිය පළ වූයේ 2020 අප්‍රේල් මස 22 වන දිනයේ ය. ඉන් පසු නිකොලෝයි පෙත්‍රොව්ස්කි, එලීනා චාන්, රිචඩ් ඊබ්‍රයිට්, ඩේවිඩ් රෙල්මාන්, රොබට් රෙඩ්ෆීල්ඩ්, ස්ටීවන් කී සහ මිල්ටන් ලෙයිටන්බර්ග් වැනි තවත් සම්මත වෛරස් විද්‍යාඥයින් ගණනාවක් ඊට සමාන අදහස් හා තර්ක ඉදිරිපත් කර ඇත.

මෙහි පූර්ණ ඉංග්‍රීසි රචනය පහත අන්තර්ජාල සම්බන්ධතාවයෙන් ලබා ගත හැකිය.

ඉහතින් ඇත්තේ එම දීර්ග සවිස්තරාත්මක ලිපියෙහි ඉතාම සරළ සිංහල සාරාංශගත කිරීමකි.

අන්තර්ජාල සම්බන්ධතාව
https://thebulletin.org/…/the-origin-of-covid-did…/

කුසල් පෙරේරා
2021 මැයි 12

RECENT ARTICLES - SINHALA

අල්ලපු ගෙදරින් විදුලිය ගන්න ගිය පුද්ගලයෙක් මරුට

තම නිවසේ විදුලිය විසන්ධි විම නිසා යාබද නිවසකින් විදුලිය ලබා ගැනිමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදි අද (24) පස්වරුවේ මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසනවා. මෙසේ...

දියතලාව – හපුතලේ මාර්ගය වැසේ

ගස් කඩා වැටීමේ අවදානම හේතුවෙන් දියතලාව – හපුතලේ මාර්ගය අද (24) රාත්‍රීයේ වසා දැමීමට තීරණය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඒ අනුව,...

අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

දරුවන්ගේ උදෑසන ආහාර වේල සැපයීමේ කටයුත්ත කරගෙන යෑම සඳහා ආහාර වේල සැපයීමේ ටෙන්ඩරය ලබාගත් කාන්තාවගෙන් රුපියල් විදුහල්පති රුපියල් 30,000ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ...

POPULAR ARTICLES

පොලිස් කාන්තාවගේ වීඩියෝ එක ගැන පොලීසියෙන් ප්‍රකාශයක්

ලියාපදිංචි සහිතකය නොමැතිව මධ්‍යම පළාතේ පුද්ගලයෙකු හට අයිති වාහනයක් සබරගමුව පළාත තුළ ධාවනය කළ රියදුරෙකුට පොලිස් කාන්තාවක් දඩයක් නියම කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ...

පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

රටේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, වාහන...