ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර විස්තීරණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද (25) රාත්‍රියේ ජාතිය අමතා සිදුකළ විශේෂ කතාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ජනාධිපතිවරයා මෙහිදි පවසා සිටියේ ඒ සඳහා මේ රටේ ජනතාවගෙන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයත් ලබා ගත හැකි බවට විශ්වාස කරන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
“අපගේ දේශපාලන ව්‍යාපාරය පිළිබඳව විශ්වාසය තබා, විවිධ අවලාද, අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු බැහැර කරමින්, අලුත් අත්හදා බැලීමකට බිය නොවී, අපගේ දේශපාලන ව්‍යාපාරයට රටේ පාලන බලය ලබා දීමට තරම් සුවිශාල අධිෂ්ඨානයක් තිබූ ජනතාව ඇතුළු සමස්ථ ජනතාවටම අප සමග එක්ව මේ රට ගොඩනැංවීමේ කාර්යභාරයට උරදීමට ශක්තියක් ඇති බව අපගේ විශ්වාසයයි.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් අපට පෙරත් අප සමගත් විවිධ කැපකිරීම් කරමින් සමහර විට ජීවිත පවා පරිත්‍යාග කරමින් කටයුතු කළ පරම්පරා ගණනක වටිනා මිනිසුන් ගැහැණුන් සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනු ලබනවා. මෙම ජයග්‍රහණයත් ඒ සමග ගොඩනගන පොහොසත් රටත්, ඔවුන් වෙනුවෙන් කරන ගෞරවයක් ලෙස මා දකිනවා.
මෙරට ගොඩනැගීමේ කාර්යභාරය සාමූහික ප්රයත්නයක් ලෙස ඉටු කිරීමේ හැකියාව අප තුළ තිබෙනවා. ඒ සඳහා ඉතාම දක්ෂ කණ්ඩායමක් අප සතුව ඉන්නවා. අපි සියලු දෙනාට ඒ පිළිබඳව දැඩි අධිෂ්ඨානයක් තිබෙනවා.
සෑම ක්ෂේත්රයකම ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමක් දක්වා ඔසවා තැබීම අවශ්‍ය බවට අප විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් දිගු කාලීන හා මධ්‍ය කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර, අනුගමනය කළ යුතු කඩිනම් ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ කෙටි කාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අප කටයුතු කරනවා.
අප අපේක්ෂා කරන වෙනස සඳහා, සැලකිය යුතු කාලයක් තුළ, පියවර රැසක් ගැනීමට තිබෙනවා. එහෙත් ඒ සියල්ල රැඳී පවතින්නේ වර්තමාන ආර්ථිකය තුළ ස්ථාවරත්වය හා විශ්වාසය ගොඩ නැංවීමෙන් පමණයි. ඒ සඳහා ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර, විස්තීරණ ණය පහසුකමට අදාල කටයුතු ඉදිරියට ගෙන යාමට අප අදහස් කරනවා.
ණය ප්‍රතිව්‍යුහගත කරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල ණය පාර්ශව සමග සාකච්ඡා කර, ඒ සම්බන්ධ කටයුතු හැකි ඉක්මනින් නිම කර, අදාල ණය සහන ලබා ගැනීමට අප කටයුතු කරනවා.. ඒ සහයෝගය තුළින් අපට සාමූහිකව ජයග්‍රහණය කළ හැකි බව අපි විශ්වාස කරනවා.
අපට බලය ලබා දීමේ දී මහජනතාව තුළ තදින් මුල් බැසගත් සංකල්පයක් වූයේ “වෙනසක්” ඇති කිරීමයි. මෙතුලින්, වෙනසක් යන්නෙන් මෙරට පුරවැසියා අපේක්ෂා කරන ලද වෙනස්කම් අතර එක් ප්‍රධාන කරුණක් වන්නේ දේශපාලන සංස්කෘතියේ පවතින සියලු ආකාරයේ අයහපත් ගති ලක්ෂණ වෙනස් කිරීමයි. අද වන විට එය අප භාවිතයෙන් ඔප්පු කරලා තියෙනවා. මෙරට සියලුම ආකාරයේ මැතිවරණයන් සලකා බැලුවද පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුනු එකම මැතිවරණය පැවැති ජනාධිපතිවරණය ඉතිහාසයට එක් කිරීමට අප සමත් වීම, මෙරට ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සනාථ කිරීමකි. මෙම තත්වය තහවුරු කරමින් ස්ථාවර කිරීම අපගේ අරමුණයි.
දැන් අපට ඉතිහාසයේ අත්හල නොහැකි අවස්ථාව ලැබී තියෙනවා. අපි සියලු දෙනා එකට එක්ව, විවිධත්වයන් දරා ගන්නා පොහොසත් ලස්සන රටක් ගොඩනගමු.”