30.3 C
Colombo
Thursday, April 25, 2024

පොහොර නැවේ වංගු යටින් මතුවන චීනයේ තර්ජන සහ ගර්ජන

- Advertisement -

ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද චීන කාබනික පොහොර නැව පිලිබඳ සිදුවීම ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් ගත කල මේ වන විට ඉතාම ශෝචනීය තත්වයකට පත්ව තිබෙනවා. සිංගප්පුරුවේ සිට හොර රහසේ නැවත වතාවක් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට පැමිණි හිප්පෝ ස්පිරිට් නම් මෙම නැවේ පවතින පොහොර තොගය කෙසේහෝ රටට ගොඩබෑම චීනයේ අභිප්‍රාය වී තිබෙන බව පැහැදිලියි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කෙලින්ම මැදිහත් වෙලා. එහි ඉතාම අප්‍රසන්න අවස්ථාවක් පිළිබිඹු කරමින් පසුගිය ඔක්තෝබර් 25වැනිදා චීන තානාපතිවරයා විසින් තමාට නොමැති බලයක් භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ඇමතිවරයාව තානාපති කාර්යාලයට කැඳවා තිබුණා. මෙය පැහැදිලිවම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රොටෝකෝල උල්ලංඝනය කිරීමක්. සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ රටක ඇමතිවරයකු සමග සාකච්ඡාවක් සඳහා වෙනත් රටක තානාපතිවරයකු අදාළ ඇමතිවරයා හමුවීමට යෑමයි. එහෙත් චීනය සිය මුල්‍ය බලය සහ ශ්‍රී ලංකාවේ ණයගැතිභාවය භාවිත කරමින් කරන ලද අණකිරිම හමුවේ ඇමතිවරුන්ට අවසානයේ තානාපතිවරයා හමුවට යෑමට සිදුවුණා.

කෙසේවුවත් කෘෂිකර්ම කැබිනට් ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මෙම සාකච්ඡාව මගහැර තිබුණා. ඔහු තමා වෙනුවට කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග පිටත් කොටහැරියා. එහිදී චීන තානාපතිවරයා මෙම පිරිසට අවධාරණය කර තිබුණේ චීන නෞකාව කොළඹ වරායට ඇතුළුකරගෙන එහි පවතින පොහොර තොගය රටට බාර ගැනීමට කටයුතු නොකළහොත් අනිසි ප්‍රතිවිපාක රැසකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බවයි. කෙසේවෙතත් තානාපතිවරයාගේ මෙම ප්‍රකාශයට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය දැඩි විරෝධය පළ කර තිබෙනවා. ඔහු පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පනතක් මගින් සම්මත කරන ලද ශාඛ නිරෝධායන මධ්‍යස්ථානය සිය රසායනාගාරවල දී සිදුකරන ලද පරීක්ෂණවලින් මෙම චීන පොහොර තොගය ශ්‍රී ලංකාවේ පසට නුසුදුසු බව පැහැදිලිවම තහවුරු කර දී ඇති බවයි. එය එක්වරක් පමණක් නොව තෙවරක්ම තහවුරු කර තිබෙන බවද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දී තිබෙනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එම සෘජු තීරණයත් සමඟ අදාළ සාකච්ඡාව තාවකාලිකව ඇණහිටි නමුත් මෙම සාකච්ඡාවෙන් පැය 24ක කාලයක් ගතවන්නටත් මත්තෙන් කොළඹ චීන තානාපති කාර්යාලය අදාල පොහොර තොගය නිෂ්පාදනය කළ ක්වින්දාවෝ සිවීන් සමාගමේ ලිපි ශීර්ෂය යටතේ විශේෂ ලිපියක් නිකුත් කර තිබෙනවා. එය පැහැදිලිවම ශ්‍රී ලංකාවට තර්ජනය කරමින් නිකුත් කරන ලද ලිපියක්. අනෙක් අතට මෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ ජනතාව නොදැන සිටි කරුණු කිහිපයක්ද එම ලිපියෙන් හෙළිදරව් කර තිබෙනවා . ඉන් ප්‍රධානම ඉන් ප්‍රධානම හෙලිදරව්ව වන්නේ මෙම පොහොර තොගය ශ්‍රී ලංකාව විසින් මේ වන විටත් නියමිත ක්‍රමවේද ඔස්සේ ණයවර ලිපි විවෘත කරමින් ඇණවුම් කර තිබීමයි. වෙනත් ආකාරයකින් කිවහොත් අදාළ පොහොර සාම්පල පරීක්ෂා කරන අවස්ථාව වන විට කිසියම් පාර්ශ්වයක් විසින් මෙම පොහොර තොගය ඇණවුම් කිරීමට ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කටයුතු කර තිබෙනවා. එමනිසා මෙම පොහොර තොග ශ්‍රී ලංකාවට සුදුසු වුවත් නුසුදුසු වුවත් එය ඇණවුම් කර තිබෙන ක්‍රමවේදය ප්‍රශ්න කිරීමට චීන සමාගමට පැහැදිලි අයිතියක් පවතින බව චීන තානාපති කාර්යාලය පෙන්වා දී තිබෙනවා.

එසේම යම් හෙයකින් මෙම පොහොර ඇණවුම අවලංගු කළහොත් මෙම ක්‍රියාවලිය සඳහා ණයවර ලිපි විවෘත කරමින් ඊට මැදිහත් වූ ශ්‍රී ලංකාවේ මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීමට කටයුතු කරන බවටත් චීන තානාපති කාර්යාලය සිය ලිපිය තර්ජනය කර තිබෙනවා. කෙසේවෙතත් චීන තානාපති කාර්යාලය සිය ලිපිය ඔස්සේ ශ්‍රී ලංකා රජයට විශේෂ යෝජනාවක් ද ඉදිරිපත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ තමන්ට ශාක නිරෝධායන මධ්‍යස්ථානයේ වාර්තා පිළිගැනීමට නොහැකි බැවින් දෙපාර්ශවයටම එකඟ විය හැකි තෙවන පාර්ශවීය ආයතනයක් හරහා මෙම පොහොර තොගයේ සාම්පල නැවත වතාවක් පරීක්ෂා කරවිය යුතු බවයි. හාස්‍යජනකම තත්ත්වය වන්නේ එම තෙවන පාර්ශවය ද චීන තානාපති කාර්යාලය විසින්ම යෝජනා කර තිබීමයි. ලිපියේ සඳහන් වන ආකාරයට චීනය විසින් Swiss SGS group නැමැති සමාගමක් මේ වෙනුවෙන් යෝජනා කර තිබෙනවා.

එම සමාගම විසින් ලබාදෙන පරීක්ෂණ වාර්තාවලට අනුව යම් හෙයකින් ඔහු සාම්පලවල අර්විනියා නමැති බැක්ටීරියා වර්ගය නොතිබුණහොත් ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව අදාල පොහොර තොගය භාරගෙන ඒවාට අදාළ ගෙවීම් කඩිනමින් සිදුකළ යුතු බව චීනය මෙහිදී අවධාරණය කරනවා. යම් හෙයකින් අදාළ බැක්ටීරියාව පවතින බව ඔප්පු වුවහොත් චීනය තමන්ගේ පොහොර නැව ආපසු හරවා ගෙන යන බවත් ඔවුන් ප්‍රකාශ කරනවා. චීනය මේ කියන මෙම Swiss SGS group නමැති ආයතනය පිළිබඳව අප සොයා බැලීමක් සිදු කරනු ලැබුවා. බැලූ බැල්මට එම සමාගමට ස්විට්සර්ලන්තයේ සම්භවයක් පවතින බව පෙනෙන්නට තිබුණත් වැඩිදුර සොයා බැලීමේදී පෙනී ගියේ ආයතනයේ ප්‍රධානියා හෙවත් ප්‍රධාන විධායක නිලධාරී ධුරය දරනු ලබන්නේ චීනයට ඉතාම පක්ෂපාතී, ස්විස් සම්භවයක් සහිත චීන ජාතිකයකු වන බවයි. ඒ අනුව චීනය විසින් සිය ලිපියෙන් අරමුණු කර තිබෙන ඉතාම අශිෂ්ට කපටි උපක්‍රමය මැනවින් අවබෝධ කරගැනීමට පුළුවන්. චීනයට අවශ්‍යව ඇත්තේ සිය සමාගමක් හරහාම මෙම පොහොර තොගය සහතික කරවා ගෙන එය ශ්‍රී ලංකාවේ ඇගේ ගැසීමට බව ඉතාම පැහැදිළියි.

දැන් මෙම කාබනික පොහොර රැගෙන පිටත්වූ හිපෝ ස්පිරිට් නැවට සිදුවුයේ කුමක්ද යන්න පිළිබඳවද සැකයක් පැනනැගී තිබෙනවා. චීනයේ චින්දාඕ වරායෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000 රැගෙන පිටත්වූ හිපෝ ස්පිරිට් නැව පිහිටි ස්ථානය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නිවැරදිව සොයා ගැනීමට නොහැකි වන අයුරින් කොළඹට යාත්‍රා කරමින් ඇතැයි, පසුගිය දින කිහිපයේම වාර්තා වුණා. නැව පිහිටි ස්ථානය පිළිඹිබු නොවුණ ද නාවික ගමනාගමන දත්ත පද්ධතිවල අවසන්වරට සටහන්ව තිබුණේ, මෙම නැවේ ගමනාන්තය කොළඹ ලෙසත් එය පසුගිය 26 වනදා පස්වරුව වනවිට කොළඹට ළඟා වන බවත්ය.

මේ අතර ෂිප් ඉන්ෆෝ නමැති ජාත්‍යන්තර නාවික දත්ත සටහන් අනුව හිපෝ ස්ප්‍රිට් නෞකාව පෙර භාවිතා කළ වෙනත් නමකින් ශ්‍රී ලංකා මුහුදට ඇතුළුවී ඇතැයි අනාවරණය වෙනවා. අන්තර් ජාතික දත්තවලට අනුව එම නම දැක්වෙන්නේ සෙයියෝ එක්ස්ප්ලෝර් ලෙසයි. නෞකාවක නම හෝ ධජය හෝ හිමිකරු වෙනස් වුවද එහි හඳුනා ගැනීමේ අංකය වෙනස් කළ නොහැකි අතර මෙම නම් දෙකෙන්ම දැක්වෙන නෞකා දෙකම එකම හඳුනා ගැනීම් අංකයක් යටතේ දැක්වෙනවා. එම තොරතුරුවලට අනුව නම වෙනස් කළ නෞකාව පොහොර තොගය ද සමග ශ්‍රී ලංකාවට පැමිණ අවසන්ය. ඊයේ එම නෞකාව ශ්‍රී ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ දැකගැනීමට ලැබුණා. කළ විමසීමකදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පැවසුවේ, නෞකාව ශ්‍රී ලංකාවට මුහුදු සැතපුම් 12 ක් ආසන්නයේ තිබෙන බවට තමන්ට තොරතුරු වාර්තා වූ බවයි. පෙරේදා ගිනිකොණදිග මුහුදු තීරයේ එනම් කුඩා රාවණා කොටුව සහ මහා රාවණා කොටුව යන ප්‍රදීපාගාරවලට ආසන්නව මෙම නෞකාව ජී.පී.එස්. දත්ත පද්ධතිවල දැක්වෙන බවට තමන්ට තොරතුරු වාර්තාවුව ද එය මේ වන විට දක්නට නැතැයි කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා ද ප්‍රකාශ කළා. හාබර් මාස්ටර්වරයා අද දහවල් පැවසුවේ, තවමත් නෞකාව කොළඹ වරායට ඇතුළුවීමට අවසර ඉල්ලා නොමැති බවටයි. ඒ අනුව මෙම නෞකාව කෙසේහෝ ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ අරමුණින් ශ්‍රී ලංකාව අසලම ‘කැරකෙමින්’ සිටින බව ඉතාම පැහැදිලියි.

RECENT ARTICLES - SINHALA

අවලෝකිතේෂ්වර ලෙස පෙනී සිටි පුද්ගලයාට මානසික රෝගී තත්ත්වයක්

අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් නමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට වෛද්‍ය වාර්තාවකින් හෙළි වී තිබෙනවා. ඒ ඔහුට...

ආනයනික කිරිපිටි මිල ගැන දැනුම්දීමක්

ආනයනික කිරිපිටි මිල යළිත් අඩු කිරීම සම්බන්ධයෙන් සංගමයක් ලෙස මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර...

ITC Ratnadipa අද විවෘත කෙරේ

ගාලුමුවදොර අලංකාරය තවත් වැඩි කරන ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද (25) විවෘත කෙරෙනවා. ඩොලර් මිලියන 300 ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...