දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින හයකට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ඇප මත නිදහස්ව සිටි වීරකැටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් හතර දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
මෙලෙස වැඩතහනමට ලක්ව ඇත්තේ,වීරකැටිය පොලිස් ස්ථානාධිපති නුවන් බුද්ධික විජේතුංග, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍ර ජයවික්‍රම , මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත විජේසේකර සහ පොලිස් සැරයන් සමන් ජයවර්ධන යන නිලධාරීන්ගේයි.
මෙම පොලිස් නිලධාරීන් හතර දෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 වැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාතර මහාධිකරණය පසුගිය ජනවාරි මස 27වනදා නියෝග කළා.
මාතර මාලිම්බඩ පොලිසියේ සේවය කරමින් සිටියදී දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින හයකට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශනයකින් පසු නීතිපතිවරයා මෙම නිලධාරීන්ට අධිචෝදනා ගොනු කර තිබු අතර නඩු විභාගය වැඩිදුර කැඳවීම පෙබරවාරි මස 27 වැනි දිනට කල් තබා තැබුවා.