28.3 C
Colombo
Saturday, April 20, 2024

ටිබෙ⁣ට් – ශ්‍රී ලංකා සබඳතා නව මාවතකට

- Advertisement -

ටිබෙට්ය සහ ශ්‍රී ලංකාව අතර ආගමික හා සංස්කෘතික සබඳතා ශත වර්ෂ ගණනාවක් ඈතට දිවෙනවා. ඒ ගැන කියපු ගමන් අපිට මතක් වෙන්නේ එස් මහින්ද හාමුදුරුවෝ ගැන.
අඋන් වහන්සේ ටිබෙට් ජාතිකයෙක් බවත්, බුදු දහම ඉගෙන ගන්න ලංකාවට ආපු බවත්, ඒ ආවාට පස්සෙ ලංකාවත්, සිංහල මිනිස්සුත් ,රටේ ජාතික සංස්කෘතික උරුමය ගැනත් විශාල ඇල්මක් ඇති වෙලා ලංකාවේම ඉඳගෙන රටේ තිබුණු ජාතික විමුක්ති අරගලයට දායක වුණු බවත් අපි අහලා තියෙනවා. උන් වහන්සෙගේ නමේ තිබෙන එස් අකුරෙන් කියවෙන්නේ “ සිකීම්හි” කියන එක. එහෙම බැලුවොත් වඩාත් නිවැරදි හැදින්වීම වෙන්නෙ සීකීම් මහින්ද හිමි. එහෙත් සීකීම් ප්‍රාන්තය සහ ටිබෙටයේ ඉතිහාසය ගැන සොයා බලද්දී අපි සාමාන්‍යයෙන් ටිබෙට් ජාතික එස් මහින්ද හිමි කියල කරන හැදින්වීමත් නිවැරදියි.

සිකීමය කියන්නෙ වර්තමානයේ ඉන්දියාව තුළ පිහිටි වර්ග කිලෝමීටර 7000කට මදක් විශාල ප්‍රාන්තයක්. අද එය චීනයේ ටිබෙට් ස්වයංපාලන කලාපයට මායිම් වෙලා තිබෙන ඉන්දියාවේ ප්‍රාන්තයක් වුණත් මේ ප්‍රදේශය අතීත ටිබෙට් රාජධානියටත් කලින් කලට අයත් වෙලා තිබිලා තියෙනවා. විවිධාකාර දේශසීමා අර්බුධ වලින් පස්සේ සිකීම් රාජධානිය ඉන්දියාවේ විසි දෙවන ප්‍රාන්තය විදිහට එරටට එකතු වෙන්නෙ 1975 දී යි. බුදුදහම කැපීපෙනන ලෙස පැතිරිලා තිබෙන, සිකීම‍ය පමණක් නො‍වෙයි, ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට අයත් ලඩාක් පළාතත් භූතානය වගේ රටවලුත් කලින් කලට අතීත ටිබෙට් රාජධානියට අයත් වෙලා තිබිලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ සමස්ත කලාපයේම පැතිරිලා තියෙන්නෙ අඩු වැඩි වශයෙන් සමාන ලක්ෂණ තිබෙන බුදු දහමක්.

ඉතිහාස වාර්තාවලට අනුව , එකොලොස් වැනි ශතවර්ෂයේදී පමණ ලංකාවේ මලය රට උප්පත්තිය ලබපු පද්මසම්භව කියල හාමුදුරු කෙනෙක් ඉන්දියාවට වඩිනවා නාලන්දා විශ්ව විද්‍යාලයේ ඉගෙන ගැනීමට. මේ කාලයේදීම තමයි ඉන්දියාවේ ශාන්ත රක්ෂිත හාමුදුරුවෝ ටිබෙට් රටට බුදු දහම අරගෙන යන්නෙ. ඒකට එවකට ටි‍බෙටයේ හිටපු රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ලැබුනත් ඒ පළාත් වල තිබුණු සාමප්‍රදායික “ බොන් ” ආගමේ අනුගාමිකයන්ගෙන් විශාල හිරිහැර සහ බාධා එල්ල වෙලා තිබෙනවා.

මෙතැනදී තමයි ශාන්ත රක්ෂිත හාමුදුරුවෝ එරට රජතුමාට යෝජනා කරල තියෙන්නෙ නාලන්දා විශ්වවිද්‍යාලයේ වැඩ වාසය කරන තන්ත්‍ර ශාස්ත්‍රය ගැන ප්‍රවීණ දැනුමක් තිබෙන පද්මසම්භව හාමුදුරුවන්ගේ උදව් ලබා ගන්න. අවසානයේදී උන් වහන්සේ ටිබෙට් රටට වැඩම කරලා හිරිහැර කරපු රාක්ෂයන් නමින් ප්‍රචලිතවෙලා හිටපු අන්‍යආගමිකයන් ධර්මපාලවරුන් බවට පත් කරලා ඒ රටේ බුදු දහම් සුරක්ෂිත කළා.

මෙන්න මේ හේතුව නිසා, ටිබෙට් ජාතිකයන් සහ ටිබෙට් සංස්කෘතිය පැතිර පවතින කලාපය තුල බෞද්ධයන් අදටත් විශ්වාස කරන්නෙ තමන්ගෙ බුද්ධ ශාසනයේ ආදී කතෘ තුමා ලංකාවෙන් වැඩම කරපු පද්මසම්භව හාමුදුරුවන් කියල. උන් වහන්සේ එරට ජනප්‍රිය උනේ ගුරු රිපොන්චේ නමින්. ඉතින් ලංකාවත් ටිබෙටයත් අතර තිබෙන බුදුදහම මා බැදුණු ඓතිහාසික සම්බන්ධය මේ වගේ ශක්තිමත් එහෙත් නිසි ලෙස හැදෑරීමට සහ අවධානයට යොමු නොවුණු එකක්.

එවන් පසුබිමක තමයි අති උතුම් දලයි ලාමා වහන්සේ විසින් ඒ ඉතිහාසයගත බැම්ම යළි ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක ථෙරවාදී භික්ෂූන් වහන්සේ වෙනුවෙන් සතිපට්ඨාන සූත්‍ර පිළිබඳ දෙදින සාකච්ඡා සමුළුවක් පවත්වනු ලැබුවේ.

එම සමුළුව ඊයේ සහ අද (දෙසැම්බර් 17 සහ 18) මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්වුණේ ඉන්දියාවේ, හිමාචල් ප්‍රදේශයේ, ධර්මශාලා නුවර උන්වහන්සේගේ ආශ්‍රමයේ සිටයි. ඉන්දුනී ශ්‍රී ලංකාවට අමතරව, ඉන්දුනිසියාව, මැලේසියාව, මියන්මාරය, සහ තායිලන්තයේ ථේරවාදී සංඝයාවහන්සේ මෙම දෙදින සැසිය සඳහා සහභාගී වුණා.

මෙම සූත්‍ර දේශනාව බුද්ධදාස ඉන්දපන්නෝ ලේඛනාගාරය – බැංකොක්, සිරිවිජය ප්‍රාන්ත බෞද්ධ කවුන්සලය – ඉන්දුනීසියාව, මැලේසියානු ථේරවාද බෞද්ධ කවුන්සලය, ශ්‍රී ලංකා ටිබෙට් බෞද්ධ සහෝදරත්ව සංගමය, ASEAN ධර්මදූත ව්‍යාපෘතිය සහ සිංගප්පූරුවේ ටිබෙට් බෞද්ධ මධ්‍යස්ථානයේ ආරාධනය පරිදි පවත්වනු ලැබුවා.

මෙම සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සියම් මහානිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි, අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහනාහිමි, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අනුනායක මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර අනුනාහිමි, පූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි අනුනාහිමි, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පුමුඛ ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේ 600 නමක් සහභාගී වුණා. සෙසු රටවලින් ද මේ සදහා සහභාගි වුණු ථේරවාදී භික්ෂූන් පිරිස දහස් ගණනක්.

ඊට අමතරව ධර්මාවබෝධයට කැමති ලංකාව ඇතුළු රටවල විශාල ගිහි පිරිසක්ද මෙම සාකච්ඡාවට සම්බන්ධ වුණා.

සති” යනු සිහියට නමකි. පට්ඨාන යන්නෙන් පිහිටීම පිහිටුවීම ගම්‍යවේ. නිවන් මගෙහි නිවැරැදි සිහිය හඳුන්වා දෙනු ලබන සූත්‍ර දේශනාව සතිපට්ඨාන සූත්‍රයයි. මජ්ක්‍ධිම නිකායට අයත් මෙම දේශනාව සතර සතිපට්ඨාන ය. එනම් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මැනවින් විස්තර කරනු ලබන අවස්ථාවකි. සත්තිස් බෝධිපාක්ෂික ධර්මතාවයන් ගේ පළමු කරුණු හතර වනුයේද මෙම සතර සතිපට්ඨානයයි. මෙම දේශනාව ආරම්භයේදීම මෙහි ඇති වැදගත්කම පිළිබඳ බුදුරදුන් තම ශ්‍රී මුඛයෙන් මෙසේ වදාළහ. “ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තා නං විසුද්ධියා…” – සත්වයන්ගේ පිරිසුදු බව පිණිස දුක් දොම්නස් දුරුවීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස නිවන් සාක්ෂාත් කරගැනීම පිණිස ඒකායන මාර්ගයක් වේ එය සතර සතිපට්ඨානයයි.”

සාකච්ඡාව ආරම්භ කරමින් අති උතුම් දලයි ලාමා වහන්සේ සඳහන් කළේ සංස්කෘත සම්ප්‍රදාය අනුගමනය කරන අයත් පාලි සම්ප්‍රදාය අනුගමනය කරන අයත් එකම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් ලෙස ලොව පුරා විසිරී සිටින බෞද්ධයන් එකම දර්ශනයක් අනුගමනය කරන බවයි. එමෙන්ම තමන් වහන්සේගේ ඉගැන්වීම් තර්කය පදනම් කරගනිමින් විශ්ලේෂණය කර තේරුම් ගත යුත බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇතැයි දලයි ලාමා වහන්සේ පෙන්වා දුන්නා.

සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගතය සිය ජීවන අත්දැකීම් ඇසුරෙන් මනාව විස්තර කරන්නට අති උතුම් දලයි ලාමා වහන්සේ කටයුතු කළා.

විවිධ රටවලින් සාකච්ඡාවට එක් වූ භික්ෂූන් වහන්සේගේ පහසුව තකා උන්වහන්සේගේ අදහස් එසැණින් භාෂා කිහිපයකටම පරිවර්තනය කෙරුණා.

මෙහිදී විවිධ රටවලින් එක් වූ භික්ෂූන් වහන්සේට සතර සතිපට්ඨානය පිළිබඳ දලයි ලාමා වහන්සේගෙන් ප්‍රශ්න විචාරන්නටත් අවස්ථාව හිමි වුණා.

මෙම වැඩසටහන පැවැත්වීම පිළිබඳ දලයි ලමා තුමන්ට කෘතඥතාව පළ කළ අස්ගිරි මහ පිරිවෙනේ පරිවේනාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කලේ
ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් දලයි ලාමා තුමාට මෙවැනි ශාසන උන්නතිකාමි වැඩසටහන් තවදුරටත් පවත්වාගෙන යෑමට ආශිර්වාද කරන බවයි.

දෙදින සැසිවාරය තුල භික්ෂු දිවියට මෙන්ම ගිහි ජීවිතයටද සතර සතිපට්ඨානය සම්බන්ධ කරගැනීමට ඇති අවස්ථාවන් පිළිබඳ අවධානයට ලක් කළා.

මෙම සංවාද මණ්ඩපය ශ්‍රී ලංකාව සහ ටිබෙටය අතර බෞද්ධ සංස්කෘතියම සම්බන්ධතාවයේ නව මානයකට මග විවර කිරීමක් මෙන්ම බුදුදහම හා බැදුණු ඉතිහාසගත බැදීම තවදුරටත් ශක්තිමත් කිරීමක් ද වුණා.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...