27 C
Colombo
Friday, April 19, 2024

චීනය අතින් සුණු විසුණු වන ටිබෙට් බොදු උරුමය

- Advertisement -

ටිබෙටයේ බෞද්ධ උරුමය විනාශ කිරීම සඳහා චීනය ගෙනයන තිරස්චීන හා මර්දනකාරී වැඩපිළිවෙළ පිළිබඳ නවතම අනාවරණයක් පසුගියදා සිදුකෙරුණා.

ඒ ටිබෙට් බෞද්ධ විශාරදයෙකු සහ ගුරුවරයෙකු වන ලින්ග් රින්පොචේ හිමියන් සිය ශ්‍රී ලංකා.සංචාරය අතරතුර කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

ටිබෙටයේ පැවැති ප්‍රධාන බෞද්ධ ආරාම 5,000 න් දැනට පවතින්නේ පහක් පමණක් බවත් ඉතිරිය චීන හමුදාව විසින් කඩා බිඳ දමා ඇති බවත් උන්වහන්සේ එහිදී අනාවරණය කළා.

ටිබෙට් අනන්‍යතාව විනාශ කිරීම සඳහා බුදුදහම හෑල්ලු කිරීම සම්බන්ධයෙන් චීනයට දඬුවම් කළ යුතු බවත්, ටිබෙට් සාහිත්‍ය, දලයි ලාමාතුමාගේ මාළිගාව ඇතුළු බෞද්ධ අනන්‍යතාවයන්, ඓතිහාසික හා ආගමික වශයෙන් වැදගත් ආරාම සහ බුද්ධ ප්‍රතිමා විශාල ප්‍රමාණයක් චීනය විසින් විනාශ කර ඇති බවත් ලින්ග් රින්පොචේ හිමියන්
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙළි කළා.

චීනය දශක ගණනාවක් තිස්සේ ටිබෙට් ජාතිකයින්ට එරෙහිව අමානුෂික සහ ම්ලේච්ඡ ක්‍රියා පිළිබඳ ලින්ග් රින්පොචේ හිමියන් මෙහිදී විවෘතව අදහස් පළ කිරීම කැපී පෙනුණා.

“ටිබෙට් ගොවීන් සහ අනකුත් සිවිල් වැසියන් සිය දහස් ගණනක් සිර කඳවුරුවල ගාල් කර වෙඩි තබා ඇති අතර ඔවුන් කර්මාන්තශාලාවල සහ නිවෙස්වල සාගින්නෙන් මිය ගොස් තිබෙනවා” යැයි රින්පොචේ හිමියෝ පෙන්වා දුන්නා.

ටිබෙට් අනන්‍යයතාවය සහ සංස්කෘතිය යන දෙකම බුදුදහම මත පදනම් වූ බවත් චීන ජාතිකයන් ටිබෙට් අනන්‍යතාවය නැති කිරීම සඳහා බුදුදහමට පහර දෙන බවත් උන්වහන්සේ පවසනවා.

මේ අතර ටිබෙටය ස්වාධීන රටක් බවත්, එම රටේ ජාතික නායකයෙකු මෙන්ම ආධ්‍යාත්මික නායකයෙකු වූ බෞද්ධ භික්ෂුවක් විසින් පාලනය කරන ලද එකම රට ටිබෙටය බවත් එම මාධ්‍ය හමුවේදී උන්වහන්සේ සඳහන් කළා.

නොවැම්බර් 18 වන දින ඉන්දියාවේ උපත ලැබූ ලින්ග් රින්පොචේ හිමියන් ආසියාවේ , යුරෝපයේ, කැනඩාවේ, එක්සත් ජනපදයේ, මෙක්සිකෝවේ, ඊශ්‍රායලයේ, ඕස්ට්‍රේලියාවේ සහ මොංගෝලියාවේ මෙන්ම ඉන්දියාව සහ නේපාලය පුරා ටිබෙට් ජනාවාසවල සහ ඉන්දියාවේ අරුනාචල් ඇතුළු හිමාලයානු ප්‍රදේශවල ධර්මය ව්‍යාප්ත කිරීමට පෙරමුණ ගත් ස්වාමීන් වහන්සේ නමක් ලෙස ලොවක් හදුනාගෙන තිබෙනවා.

අතිඋතුම් ලින්ග් රින්පොචේ හිමි ප්‍රමුඛ දූත පිරිස බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගැනීම සඳහා පසුගියදා මෙරටට වැඩම කළා. සිය සංචාරය තුළ අනුරාධපුරයේ අටමස්ථාන වැඳ පුදා ගත් උන්වහන්සේ මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිදුන් වැද ආශිර්වාද ලබා ගත්තා. ලින්ග් රින්පොචේ හිමියන් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ද බැහැ දැක බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවලද නිරත වුණා.

එහිදි ඉන්දියාවේ – කුෂිනගර් හි මතුබුදුවන මෛත්‍රී බෝධිසත්වයන්ගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට යෝජිත බැවින් ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ධාතූන් වහන්සේ නමක් වැඩමවා එහි තැන්පත් කිරීමටද උන්වහන්සේ මෙරට මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කළේ එම සාකච්ඡා අතරතුරයි.

ලින්ග් රින්පොචේ හිමියන්ගේ මෙරට සංචාරය ලොව පුරා බෞද්ධ ජනතාවගේ.අවධානයට පාත්‍ර වුණේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡා හේතුවෙන්.

එහිදී අතිඋතුම් ලින්ග් රින්පොචේ හිමියන් , පසුගිය දශක ගණනාවක් තිස්සේ කොමියුනිස්ට් චීනය විසින් ඔවුන්ට එල්ල කරන ලද අමානුෂික සහ තිරිසන් ම්ලේච්ඡ ක්‍රියා පිළිබඳ ලොවට හෙළි කළා.

දලයි ලාමා තුමාගේ මාලිගාව, ආරාම සහ බුද්ධ ප්‍රතිමා විශාල ප්‍රමාණයක් විනාශ කිරීම ඇතුළු ඔවුන්ගේ සාහිත්‍ය විනාශ කිරීම, ඓතිහාසික හා ආගමික වටිනාකමක් ඇති ටිබෙට් ජාතිකයන් ක්රමානුකූලව ඔවුන්ගේ රට තුළම අසරණ තත්ත්වයකට ඇද දැමීම. පන්දහසකට අධිකව පැවති ආරාම සංඛ්‍යාව චීන හමුදා විසින් විනාශ කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කරුණු ගෙනහැර දැක්වූවා.

සාම්ප්‍රදායික ටිබෙට් සංස්කෘතික සහ ජාතික අනන්‍යතාවයේ කේන්ද්‍රස්ථානයක් වන ටිබෙට් බෞද්ධ ආරාමවල ප්‍රමාණය සහ බලපෑම සීමා කිරීමට චීන බලධාරීන් දිගු කලක් තිස්සේ උත්සාහ කරන බව රහසක් නොවේ.

වයඹ දිග චීනයේ Qinghai පළාතේ ආරාමවලින් තරුණ ටිබෙට් භික්ෂූන් වහන්සේ බලහත්කාරයෙන් නැවත සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට බලධාරීන් කටයුතු කරන බව පසුගිය කාලය පුරාම වාර්තා වුණේ එවැනි පසුබිමකයි.

මෙය ටිබෙට් සම්ප්‍රදායික ආගම හා සංස්කෘතිය සමග තරුණ ප්‍රජාව අතර ඇතිවන සම්බන්ධතාවය බිඳ ⁣දැමෙන පියවරක් ලෙස මෙය සැලකෙනවා.

ටිබෙටයේ ඓතිහාසික ආරාමයක් වන Qinghai පළාතේ දිට්සා ආරාමයෙන් වයස අවුරුදු 11 -15ත් අතර භික්ෂූන් වහන්සේ නෙරපා හැර ඇතැයි අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ ආරංචි මාර්ග RFA වෙත පවසා තිබෙනවා.

මෙම රෙගුලාසි ක්‍රියාත්මක වන්නේදැයි පරික්ෂා කිරීමට ආණ්ඩුවේ බලධාරීන් ආරාමවලට පැමිණෙන බව ද සඳහන්. නව රෙගුලාසි පසුගිය වසරේ ඔක්තෝබර් 20 සිට ක්‍රියාත්මක අතර මේ දක්වා නිවෙස් වෙත පිටත් කර හැරි තරුණ භික්ෂූන් වහන්සේ පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත නිල වශයෙන් ඉදිරිපත් කර නැහැ.

එමෙන්ම ඇෆ්ගනිස්තානයේ තලේබානුවන්ට පසුව ලොව සිදු වූ බවට සැලකිය හැකි විශාලතම බුද්ධ ප්‍රතිමා සංහාරය සිචුවාන් පළාතෙන් පසුගිය දෙසැම්බර් මාසයේදී වාර්තා.වුණා.

චීනයේ සිචුවාන් පළාතේ බලධාරීන් එලෙස විනාශ කර දැමුවේ බෙට් ස්වයං පාලන කලාපයේ ඩ්‍රැගෝ ප්‍රාන්තයේ ඉදිකර තිබූ අඩි 99ක් උස විශාල ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමාවක්.

ප්‍රතිමාවට අමතරව භික්ෂූන් වහන්සේ සහ බැතිමතුන් වන්දනා මාන කටයුතු සඳහා භාවිත කරන එම පරිශ්‍රයේ තිබූ වෙනත් ඉදිකිරීම්ද කඩා ඉවත් කර තිබෙනවා.

ප්‍රතිමාව විනාශ කිරීමට පෙර එම ආශ්‍රමයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේ පොලිසියට කැඳවා දින 15ක් පමණ රඳවා තබා ගෙන ඇති අතර පිළිමය විනාශ කරන අයුරු බලා සිටීම ඔවුන්ට අනිවාර්ය කර තිබෙනවා. එහි නොපැමිණෙන භික්ෂූන් වහන්සේට දැඩි දඬුවම් පමුණුවන බවටද චීන බලධාරීන් තර්ජනය කර තිබූ බව සඳහන්.

ප්‍රතිමාව විනාශ කෙරුණේ එහි ඉදිකිරීම් සඳහා චීන හා ටිබෙට් ප්‍රාදේශිය බලධාරීන් අනුමැතිය ලබා දී තිබූ පසුබිමක වීමත් විශේෂත්වයක්.

චීනයේ සැබෑ අභිප්‍රාය ආගම හා සංස්කෘතිය මුලිනුපුටා දමා ටිබෙට් අනන්‍යතාව සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීම බව ⁣මේ හරහා පැහැදිලි වනවා.

චීන කොමියුනිස්ට් පාලනය 1959 දී ටිබෙටය යටත් කර ගත් අතර එවක පටන් බුදු දහම පදනම් කරගත් ටිබෙට් සංස්කෘතිය වැනසීමට චීනය විවිධ මර්දනකාරී ක්‍රියාමාර්ග දියත් කරමින් සි⁣ට්නවා.

ඒ ය⁣ටතේ බෞද්ධ ආශ්‍රම කොල්ලකා විනාශ කොට භික්ෂූන් වහන්සේ පලවා හරිනු ලැබුවා.

ටිබෙට් වැසියන් පවසන පරිදි එරට ආශ්‍රමවලින් 90%ක් පමණම චීන මර්දකයින් විසින් කොල්ල කා විනාශ කර තිබෙනවා.

එහි තිබූ ඉපැරණි ප්‍රතිමා හා ගොඩනැගිලි රැසක්ද ලොවේ දෑසින් වසන් වූණා.

ලින්ග් රින්පොචේ හිමියන් ශ්‍රී ලංකාවේදී ලොවට අනාවරණ කළේ එම කටුක සත්‍යයි. ටිබෙට් බෞද්ධ උරුමය රැකගැනීම සඳහා ලොව පුරා බෞද්ධයන් චීනයට එරෙහිව පෙරට පැමිණිම තවදුරටත් පමා කළ යුතු නැති බව මේ සියලු කාරණා හරහා ගම්‍ය වනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...