කල් ඉකුත් වූ පාස්පෝට් අලුත් නොකිරීම හේතුවෙන් ලාංකිකයන්ට මැතිවරණ සමයේ ලංකාවට පැමිණීමට නොහැකි තත්ත්වයක් ඇති කර තිබෙන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.
ජාතික ජන බලවේගය ඊයේ (09) පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් විජිත හේරත් මහතා මේ බව සඳහන් කළා.
පසුගිය කාලයේ සාමාන්‍ය පාස්පෝට් නිකුත් කිරීම වෙනුවට ‘ඊ-පාස්පෝට්’ සේවය ආණ්ඩුවෙන් හඳුන්වා දීම පිටුපස කොමිස් ගැසීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවද මෙම සාකච්ඡාවේදී ඔහු පවසා සිටියා.
එමෙන්ම, මෙම ගැටලුකාරී තත්වය හේතුවෙන් මැතිවරණ සමයේ පාස්පෝට් කල් ඉකුත් වූ අයට ඒවා අලුත් කර ගැනීමට නොහැකි වීම නිසා ලංකාවට පැමිණීමට නොහැකි වී ඇති කර බවද, ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ පරණ වෙබ් අඩවිය විවෘත කර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමට රජය කටයුතු නොකරන බවද විජිත හේරත් මහතා පවසා තිබෙනවා.
ඒ අනුව මෙම තත්වය අවසන් කරමින් වහාම විසඳුමක් ලබා දෙන ලෙස ඔහු මෙහිදී ආණ්ඩුවට අවධාරණය කර සිටියා.
කෙසේවෙතත්, මෙම චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා ඇත්තේ, විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පසුගිය දිනවල පැවති දිගු පෝලිම් පසුපස මාෆියාවක් ක්‍රියාත්මකවී ඇති බවයි.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ (09) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා,
විජිත හේරත් මහතා සිය මිතුරෙකු වුවත්, පාස්පෝට් ගැටලුව සම්බන්ධයෙන් ඔහු සිදු කර ඇති චෝදනාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ටිරාන් අලස් මහතා පෙන්වා දෙනවා.
වීසා ගැටලුවට අධිකරණ විසදුමක් ලැබෙන තෙක් දිවයිනට පැමිණි පසු (ඔන් අරයිවල්) වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙහිදී පවසා සිටියා.
ඔහු තවදුරටත් සඳහන් කළේ ඒ සදහා ගුවන් තොටුපොළේ වීසා කවුන්ටර් 12 ක්ද වැඩි කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා,
“පෝලිම් හැදුණේ පාස්පොට් එකේ අඩුකම නිසා නෙමෙයි. අපි ඉස්සරවෙලා පටන් ගත්තේ ඔන්ලයින් එපොයිමන්ට්. අපි රෑ 12ට ඔන්ලයින් එපොයිමන්ට් එක ඕපන් කළා. මිනිත්තු 15ක් 20ක් යනකොට ඔක්කොම එපොයිමන්ට් ඉවරයි. එක කට්ටියක් සිම් පත් 100ක් පමණ අරගෙන එවලෙම එපොයිමන්ට් ටික අරගන්නවා. ඒ එපොයිමන්ට් එන අහිංසක මිනිස්සුන්ට විකුණනවා රුපියල් 45,000කට. ඒක මම දැනගත් වහාම ඔන්ලයින් එක නවත්වන්න කිව්වා. නවත්තලා පෝලිමේ එන්න අරින්න, එතකොටත් පෝලිම හැදෙනවා ඉවරයක් නැහැ. ඊට පස්සේ පෝලිමේ ඉඳලා ඒක විකුණනවා රුපියල් 20,000ට 25,000ට. ඊට පස්සේ තමයි මම තීරණයක් ගත්තේ පෝලිම භාරගන්න කිව්වා පොලීසියට. පොලිසියට කරන ක්‍රමය කිව්වා ඒ දිනයෙන් පස්සේ දැන් 10.30, 11.30 වනවිට පෝලිම් ඉවරයි. පාස්පෝට් අවුලට ආගමන විගමන ලොක්කෝ පෝලන්තයට ගියා කිව්වා. මේවා අමූලික බොරු. දැන් පාස්පෝට් චීෆ් මෙතන ඉන්නවා.”