පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ සිටම මෙරට තුළ පවතින පොල් හිඟය මෙන්ම සහ පොල් මිල ජනතාවට දැරිය නොහැකි ලෙස අධිකව ඉහළ ගොස් ඇති පසුබිමක ලාංකිකයන්ගේ ආහාර රටාව සහ පොල් පරිභෝජනය සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබෙනවා.
ඒ, පොල්ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීම සඳහා අවසර ඉල්ලා ඇති බවට පළවු පුවතක් සම්බන්ධයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සිදු කළ ප්‍රකාශයක් සමඟයි.
මේ වන විට, වෙළඳපොළේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 200 – රුපියල් 230 ත් අතර මුදලකටයි.
පොල් බහුල ලෙස ගෘහස්ත පාරිභෝජනයට ගැනීමෙන් මූලිකවම පොල් කටු, පොල් වතුර සහ පොල් ලෙලි හරහා ලබාගත හැකි ආදායමක් අහිමි වී යන බව ඊයේ (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් චතුරංග අබේසිංහ මහතා සඳහන් කළා.
එමෙන්ම, ගෘහස්ථ වශයෙන් පොල් පරිභෝජනය කිරීමේදී පොල්කිරි සහ සම්බෝල වශයෙන් පාවිච්චි කිරීම නිසා පොල් සෑහෙන ප්‍රමාණයක් අපතේ යන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියා.
චතුරංග අබේසිංහ මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ විවිධ විවේචන මෙන්ම, සාධනීය ප්‍රතිචාරද මතුව තිබෙනවා.
“පොල් ගෙඩි මිලියන 200කට සරිලන ප්‍රමාණයේ පොල් මද සහ පොල් කිරි ගෙන්වීමට තමයි ඔවුන් ඉල්ලීම් කළේ, මේ මොහොතේ පොල්ගෙඩි ගෙන්වීමට කිසිදු තීරණයක් නැහැ. කිසිම හානියක් මෙරට පොල්වගාවට සිදු වෙන්නේ නහැ කියලා සහතිකය සහිතව තමයි ඒක කරන්න වෙන්නේ, ඒක ටිකක් මධ්‍යකාලීන සැලැස්මක්”
ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති, ජයන්ත සමරකොන් මහතා ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
සභාපතිවරයා මෙහිදී පවසා සිටියේ, මෙරට මාසික පොල් අවශ්‍යතාවය පොල් ගෙඩි මිලියන 250ක් බවත්, ඉන් ගෙඩි මිලියන 150 ගෘහස්ථ පාරිභෝජනය සඳහා ද, ගෙඩි මිලියන 100ක් කර්මාන්ත අංශයට යොදා ගන්නා බවයි.
මෙරට වාර්ෂික දළ පොල් ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 3,000ක් වූවත්, ඉකුත් වසරේදී එය පොල් ගෙඩි මිලියන 2,680ක් දක්වා අඩු වී තිබෙන බවත්, මේ වසරේදී මෙරට පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2400ක් 2600ත් අතර ප්‍රමාණයක් දක්වා අඩුවන බවට පොල් පරේෂණායතනය පුරෝකථනය කර ඇති බවද ඔහු පෙන්වා දුන්නා.
ජයන්ත සමරකෝන් මහතා වැඩිදුරටත් පැවසුවේ, මේ වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළදී පොල් ගෙඩි මිලියන 200ක නිෂ්පාදන අඩුවක් සිදුවන බවට පොල් පරේෂණායතනය පුරෝකථනය කර ඇති බවයි.
ඊට විසඳුමක් ලෙස හිඟ පොල් ගෙඩි මිලියන 200ට සාපේක්ෂව පොල් කිරි, පොල් මද, වියළි පොල් මද හෝ ලෙලි ගසන ලද පොල් ආනයනය කඩිනමින් සිදුකළ යුතු බව රජයට යෝජනා කළ බවද සභාපතිවරයා පවසා සිටියා.
පොල් කිරි සහ පොල් සම්බෝල සෑදීමේදී පොල් අපතේ යන බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මතුවීඇති කතාබහත් සමඟ සිය ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සිය නිල ෆේස් බුක් ගිණුමෙහි පළ කර තිබෙනවා.
එම සටහන පහතින්,
“ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම පොල් පාරිභෝජනය කරන රටවල් අතරින් එකකි. අපේ ආහාර රටාව සහ පොල් අතර ඇත්තේ ආත්මීය බැඳීමක් යැයි කීම වඩාත් නිවැරදිය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයකුගෙන් කෑමට කැමැතිම කෑම කුමක්ද ඇසුවොත් ලැබෙන උත්තරය පොල් සම්බෝල, කරවල බැදුම සමග කැකුළු බත් ය.
පොල් සහ අප අතර බැඳීම ආහාරයකටත් එහා ගිය රසවත් මතකයකි.
එසේම කිරි හොද්දටද අපේ ආහාර පුරුද්දේදි හිමිවන්නේ ඉහළම තැනකි. එයද අතින් මිරිකා ගත් පොල්වලින් සෑදීම දිවට සේම හිතටද එක් කරන්නේ මිහිරකි.
කෙසේ නමුත් අපගේ සම්ප්‍රදායික පුරුදු සහ අතීතකාමි මිහිර හේතුවෙන් රටේ ආර්ථිකයක අපනයන විභවයට ඇති අවස්ථාව ඇහිරී යන්නේ කෙසේද කියා සිහි කළ යුතුය.
පොල්, කර්මාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයාගත හැකි ඉතා වටිනා මාර්ගයක් ලෙස හඳුනා ගත හැකිය. දැනට $මිලියන 850ක් දක්වා වර්ධනය වී ඇත
ශ්‍රී ලංකාවේ සමස්ත පොල් ඵලදාව බිලියන තුනක් අවට අගයකි. ඉන් බිලියන 1.6ත් 1.8ත් අතර ප්‍රමාණයක් යොදාගන්නේ දේශීය ආහාර පාරිභෝජනයට ය. ඉතිරිය කර්මාන්තයක් ලෙස පොල්තෙල්, පිටි කළ පොල් කිරි, පොල් ක්‍රීම් ලෙසින් අපනයන අගය එකතු කිරීම් සහ අපනයනය සඳහා භාවිතා කරන්නේය.
ගෘහස්ත පාරිභෝජනයේදි සාම්ප්‍රදායික ලෙස අතින් පොල් මිරිකා කිරි ලබාගැනීමේදි පොල් මදයෙන් උපරිමව ලැබෙන්නේ 30% ක් වැනි අගයකි. නමුත් කර්මාන්තයක් ලෙස යන්ත්‍රානුසාරයෙන් පොල් මිරිකා ගැනීමේදි 75%ට ඉහළ අගයකින් කිරි ලබා ගැනීමට හැකිය.
මේ වනවිට පොල් කර්මාන්තයෙන් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් මිලියන 850 උපයා දෙන්නේය. ඉන් පොල් මදයෙන් කෙරන නිෂ්පාදනවලට සමානවම අගයකින් පොල් කට්ට සහ පොල් ලෙල්ල ආශ්‍රිතව කෙරෙන නිෂ්පාදනවලින්ද අපනයන ආදායමක් ලැබෙන්නේය. පොල් වතුර ද ඉතා හොඳ ඩොලර් උල්පතකි.
පොල් බහුල ලෙස ගෘහස්ත පාරිභෝජනයට ගැනීමෙන් මූලිකවම පොල් කටු, පොල් වතුර සහ පොල් ලෙලි හරහා ලබාගත හැකි ආදායමක් අහිමි වී යන්නේය. එසේම, කාර්මිකව නිපදවන පොල් කිරි ප්‍රමාණයකට පොල් ගෙඩියක් වැය වද්දි ගෘහස්තව පොල් මිරිකා එම ප්‍රමාණයේ කිරි ලබාගැනීමට පොල් ගෙඩි දෙක හමාරක් වැය කළ යුතුය.
එසේම අපේ පොල් වගාවේ ඵලදායිතාවද ඇත්තේ සාපේක්ෂව ඉතා පහළ අගයකය. කේරළයේ පොල් ගසතින් වාර්ෂිකව සාමාන්‍ය පොල් ගෙඩි 110ක් ලැබෙද්දි අපේ පොල් ගසකින් ලැබෙන්නේ ගෙඩි 50කි. නිසි පරිදි වගාවට පොහාර නොයෙදීම, ජලය නොදෑමීම, ඉඩම් කට්ටිය, රිලවුන් – දඬු ලේනුන් වැනි සතුන්ගෙන් සිදුවන හානිය සේම පසුගිය වසර කීපයේ සිදුවූ කාළගුණික විපර්යාසද පොල් ඵලදායිතාව තවත් අඩු කරවීමට හේතු විය.
පොල් කර්මාන්තයේ ඉල්ලුමට අවශ්‍ය තරම් පොල් හිඟවීම අපට ඩොලර් අදායාම වැඩි කරගැනීමට ඇති ප්‍රධානම බාදකයකි.
ගෘහස්ත පාරිභෝජනයේදි පොල් කිරි ලබාගැනීමට අතින් මිරිකා ගැනීම වෙනුවට බ්ලෙන්ඩර් කිරීමට යොමු වීම සහ පොල් වෙනුවට පිටිකළ පොල් හා පොල් කිරි වෙත පාරිභෝගිකයින් යොමු වීමට හැකිනම් පොල් අපනයන කර්මාන්තයේ අවශ්‍යතාවට සරිලන සැපයුම වැඩිකර කර්මාන්තය තවත් වර්ධණය කළ හැකිය.
මෙමෙ ක්‍රියාවට මේ වන විට නාගරික නිවෙස් යොමුවී ඇත. එමගින් කාලය හා කසල ගැටලුව අවම වී ඇති අතර පොල් සම්බෝල සදහා ද ගාපු පොල් භාවිතාව ප්‍රචලිත වෙමින් පවති. මේ සදහා බාදාවනක් වන්නෙ සැකසූ පොල් සදහා VAT බද්දක් ඉහල අලෙවි ලාභයක් (30% retail Margin) තිබීමයි, එය ඉවත් වුව හොත් නිවසට විශාල ආර්ථික ලාබයක්ද හිමිවේ
කර්මාන්ත අමාත්‍යාංශය ලෙස පොල් මගින් අපට ලැබෙන විදේශ විනිමය ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම කෙටිකාලීන අරමුණයි. ඒ සඳහා අපට ඉතා හොඳ විභවයක් තිබෙන අතර කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධණ අමාත්‍යාංශය ඒ සඳහා උපරිම කැපවීම කිරීමට සූදානම්ය.
පොල් ගස වචනයේ පරිසමාප්තියෙන්ම කප්රුකකි. නමුත්, ආර්ථික අර්බුදයක සිරවී සිටින අපි එයට සාධාරණයක් ඉටු කරනවාදැයි නැවත සිතා බැලිය යුතු නොවේද?
කුමන ආකාරයෙන් වුවත් රට දැන් සීමිත සම්පත් වලින් උපරිම ඵල නෙලාගත යුතුව ඇත. ඔබේ ආහාර රට කිසිවක් වෙනස් නොකර ආකල්පයක වෙනසකින් අපට අමතරව $ මිලියන 200ක් රටට වාර්ශිකව එක් කල හැකිබව පමනක් සටහන් කර තබමි.
Edit කෑලිවලින් හෝ ජනතාව දැණුවත් වේනම් රටක් විදිහට අලුත් ගමනක් යෑමට අවස්තා එමටය. පොල් වගාවට, ආශ්‍රික කර්මාන්ත වලට ඔබ ව්‍යවසායකයෙක් ලෙස යොමු වේනම් ලෝක අනම්‍ය වර්ධනය වෙන වෙළෙඳපොළල ඩොලර් බිලියන 30කි.
අපනයන ප්‍රමුඛ නිශ්පාදන ආර්ථික පුනරුදය ඇරඹී ඇති බවත් එය කිසිවෙක්ව වැළැක්වීමට නොහැකි බවත් මිතුරාට පැහැදිලි කර දෙන්න.”
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම 13.08% කින් ඉහළ ගොස් තිබුණා.
අපනයන සංවර්ධන මණ්ඩලය 2024 නොවැම්බර් මාසයේ අපනයන කාර්යසාධන දත්ත ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, 2023 නොවැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 62.06 ක් ලෙසින් වාර්තා වී තිබෙන පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම 2024 නොවැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 70.18 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර, ගෘහස්ථ පරිභෝජනයේදී පොල් නාස්තිය වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් දැනුවත් කරමින් පොල් පර්යේෂණ ආයතනය උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
රටේ මුළු පොල් නිෂ්පාදනයෙන් 70% ගෙදර දොර භාවිතයට යොදා ගනු ලබන බවත් අනින් මිරිකා කිරි ලබා ගනිද්දී ලැබෙන්නේ ගෙඩියේ කිරි වලින් 25% පමණක් බවත් ඉතිරි කොටස පොල් කුඩු ලෙස අපතේ යන බවත් එම ආයතනය පවසනවා.
ගෙදරදී කිරි ලබා ගන්න බ්ලෙන්ඩරයක් භාවිතයෙන් ගෙඩියෙන් 50%-60% කිරි ලබාගත හැකි බවත් පොල් බ්ලෙන්ඩර් කිරීමෙන් කොලොස්ටරෝල් වැඩිවන බව කීම සම්පූර්ණ මිත්‍යාවක් බවටත් එම උපදෙස් මාලාවේ සඳහන්.
