28.2 C
Colombo
Saturday, April 20, 2024

ගෝල්ෆේස් ප්‍රහාරයට ජොන්ස්ටන් සැකකරුවෙක් බව දින 22 කට පසුව හඳුනාගනියි

- Advertisement -

මැයි 09 අරගලභූමිවලට පහරදීම සම්බන්ධයෙන් වූ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01) කටයුතු කළා.

ඒ අදාළ නීති කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදි අද යළි කැඳවු අවස්ථාවේදි.

නඩුව කැඳවු අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය කියා සිටියේ මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු නම් කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම ප්‍රශ්නගත මැයි 09 වනදා අරලියගහ මන්දීරයේදි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදුකළ කතාවක් සම්බන්ධයෙන් විශේෂඥ මතය ලබාගැනීමට එම කතාව මනෝ වෛද්‍යවරුන් දෙදෙනෙකු වෙත යොමුකරන බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළා.

එමෙන්ම මෙම නඩුවේ සෙසු සැකකරුවන් ලෙස මහින්ද කහඳගම, දිලිත් ප්‍රනාන්දු සහ නිශාන්ත ජයසිංහ නම් කිරීමටද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියා.

එසේම මීට පෙර දින මෙම නඩුවට අදාළව අධිකරණය හමුවේ නම කියවුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රශ්නගත දිනයේ භාවිතා කළ රාජකාරි සහ පෞද්ගලික ජංගම දුරකථන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන වෝහාරික පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බවද අයේෂා ජිනසේන මහත්මිය අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වු ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය මහතා කියා සිටියේ මෙම සිදුවීම නොවැළැක්වීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම්කළ යුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙතෙක් සැකකරුවෙකු ලෙස නම් නොකිරීම විමතියට කරුණක් බවයි.

එසේම ඒ සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය නියෝජනය කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාද කරුණු දැක්වුවා.

ස්වාමිනි, මේ මුළු සංසිද්ධියම නවත්වන්න තිබ්බේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට. මොකද එවැනි පෙළපාලියක් නවත්වන්න උප පොලිස් පරීක්ෂකවරයෙකුටත් බලය තියෙනවා. පොලිස්පතිවරයා පෙර දිනයේ ලිඛිත උපදෙස් දී තිබියදීත් මෙම සිද්ධිය වළක්වන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර නැහැ. එහෙම තත්ත්වයක ඔහු දැන් පොලිස්පතිවරයාව බිල්ලට දෙන්න හදනවා. ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නීති විරෝධි උපදෙස් දුන් පමණින් ඒවා පිළිපදින්න ඔහු බැදිලා නැහැ. ජනාධිපතිවරයා, මහජන ආරක්ෂක ලේකම්වරයා හෝ පොලිස්පතිවරයා කවුරු උපදෙස් දුන්නත් එවැනි පෙළපාලියක් නොවළක්වා ඉන්න ඔහුට බැහැ. එබැවින් දේශබන්දු තෙන්නකෝන් ආරක්ෂා කරන අදෘෂ්‍යමාන හස්තය මොකක්දැයි අපි දැනගත යුතුයි.

මෙහිදි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න එයින් ඉවත් වුයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තර්ජනය කළ නිසා බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.

එහිදි අධිකරණයබ හමුවේ පෙනී සිටි පොලිස්පතිවරයා ඇමතූ මහෙස්ත්‍රාත්වරයා මෙසේ විමසුවා.

මෙම විමර්ශනයට යම් යම් බාධා වනවා කියලා නීතිඥවරුන් දිගින් දිගටම චෝදනා කරනවා. එබැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි විමර්ශන පවත්වාගෙන යාමේදි එම විමර්ශන අධීක්ෂණයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යොමු කරන්න ඔබට පුළුවන්ද?

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මැයි 09 වනදා අරගලභූමිවලට පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන අධීක්ෂණය කිරීමට පොලිස් අපරාධ අංශය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතාව නම් කරනු ලැබුවා.

අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.

ස්වාමිනි, මීට පෙර දිනයේ මාගේ සේවාදායකයාට එරෙහිව අධිකරණය හමුවේ බොහෝ කරුණු ඉදිරිපත්වෙලා තියෙනවා. නමුත් ඒ කරුණු සියල්ලම සත්‍යය නෙමෙයි. නීතිපතිවරයා මගේ සේවාදායකයා ස්ථාන මාරු කිරීමට නියෝග කරලා නැහැ. ඒ පිළිබඳ අවධානය යොමු කිරීමක් පමණයි වෙලා තියෙන්නේ. මේ සිද්දිය සම්බන්ධයෙන් කතා කිරීමේදි ප්‍රශ්නගත සිදුවීමට පෙරදින පොලිස්පතිවරයා ලබාදුන් ලිඛිත උපදෙස් මත අදාළ සිදුවීම වැළැක්වීමට අවශ්‍ය විධිවිදාන යෙදීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කර තිබෙනවා. අරලිය ගහ මැදුරේ පැවැත්වීමට නියමිතව තිබු රැස්වීම පිළිබඳ සොයා බලා එයට පැමිණෙන පුද්ගලයින් යළි ප්‍රශ්නයකින් තොරව පැමිණි ස්ථානවලටම යැවීමට ඔහු කටයුතු සම්පාදනය කර තිබෙනවා. එහෙම කටයුතු යොදලා ප්‍රශ්නගත සිදුවීම වන අවස්ථාවේ ඔහු සිට ඇත්තේ නිල කාර්යාලයේ. අරලිය ගහ මැදුර ආසන්නයේ සිදුවීමක් වන බවට ලද ආරංචියක් මතයි ඔහු එතනට ගිහින් තිබෙන්නේ. එහිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතා එම නොසන්සුන්කාරි තත්ත්වය වැළැක්වීමට පොලිස්පතිවරයා ඔහුට ලබාදුන් උපදෙස් ගැන මාගේ සේවාදායකයාට පවසා තිබෙනවා. එමෙන්ම ඒ අවස්ථාවේදි පොලිස්පතිවරයා දුරකථනයෙන් මගේ සේවාදායකයා අමතා උපදෙස් දී තිබෙනවා. නමුත් ස්වාමිනි ඒ උපදෙස් අතර පරස්පරතා පැවති තිබෙනවා. ඒ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාත් කතාකරලා තියෙනවා. මේ සියලු උපදෙස් අතර පැවති පරස්පරතා නිසයි මාගේ සේවාදායකයා ඉහළම දේශපාලන අධිකාරියෙන් සිදුවීම වැළැක්වීමට උපදෙස් අරගෙන තියෙන්නේ. ජනාධිපතිවරයා සමඟ පැවති දුරකථන සංවාදය විනාඩි 11ක් පමණ පැවත තිබෙනවා. ඒ ඇමතුමෙන් පසුවයි කදුළු ගෑස්, ජල ප්‍රහාර යොදා කලහාකාරින් විසුරුවා හැරීමට මගේ සේවාදායකයා කටයුතු කර තිබෙන්නේ

මෙහිදි අධිකරණය හමුවේ පෙනී සිටි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මීට පෙර දිනයේ අධිකරණය නියෝග කළ පරිදි දේශබන්දු තෙන්නකෝන් මහතා ස්ථාන මාරු නොකිරීම සම්බන්ධයෙන් හේතු දක්වමින් වාර්තාවක් අධිකරණයට භාර දුන්නා.

එහි සඳහන් වුයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයාට බලයක් නොමැති බවයි.

කෙසේ වෙතත් එහිදි අගතියට පත් පාර්ශවයේ නීතිඥයින් ප්‍රශ්න කළේ පොලිස්පතිවරයාට එවැනි බලයක් නොමැති නම් මෑතකදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ස්ථාන මාරු කළේ කෙසේද යන්නයි.

එයට පිළිතුරු දුන් පොලිස්පතිවරයා සඳහන් කළේ එම ස්ථාන මාරුව සිදුකළේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණයකට යටත්ව බවයි.

කෙසේ වෙතත් මෙහිදි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විමසා සිටියේ ස්ථාන මාරු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට යෝජනා ඉදිරිපත් කළ හැකි බැවින් මෙම නඩුවට අදාළව මේ දැඩි ලෙස චෝදනාවට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා යෝජනා ඉදිරිපත් නොකරන්නේ මන්ද යන්නයි.

එයට ප්‍රතිචාර දැක්වු පොලිස්පතිවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන්ද තමන්ගේ මට්ටමෙන් කළ යුතු යෝජනා මේ වන විටත් අදාළ පාර්ශව වෙත යොමු කර අවසන් බවයි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණ සලකා බැලු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මීට පෙර හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ සැකකරුවන් 06 දෙනෙකු එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.

එසේම ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කළ වසන්තා හඳපාන්ගොඩ ඇතුළු සැකකරුවන් තිදෙනාද, මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 06 දෙනාද ජුනි 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...