අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ – කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා.
ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් යානාවක ඇතිවූ කාර්මික දෝෂයක් හේතු වී තිබෙන බව සඳහන්.
මෙම යූ.එල්. 181 දරණ ගුවන් යානය මගීන් 200කට ආසන්න පිරිසක් සමඟ කත්මන්ඩු නුවර බලා ගමන් කිරීමට නියමිතව තිබු බවයි වාර්තා වන්නේ.
මෙම ගුවන් යානයේ මඟීන් අතර දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිද සිට ඇති බව සඳහන්.
අමාත්‍යවරයා ඇතුළු ගුවන් මගීන් පිරිසක් උදෑසන 07.15 ට මෙම ගුවන් යානය තුළට නංවා තිබෙන නමුත් මෙම ගුවන් යානය උදෑසන 11.00 වන තෙක්ම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් නැහැ.
නේපාලයේ භූ විෂමතාව අනුව එය කඳුකර රාජ්‍යයක් වන බැවින් සවස් කාලය වනවිට කත්මණ්ඩු නුවර ගුවන් තොටුපොළ මීදුමෙන් වැසී යාමට හැකියාවක් පවතිනවා.
එබැවින් ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේ ශ්‍රී ලන්කන් යූ.එල්.- 181 දරන ගුවන් ගමන හටගත් තාක්ෂණික දෝෂය හේතුවෙන් අත්හිටවනු ලැබූ බවයි.
මේ අතර, අද උදෑසන ඉන්දියාවේ මුම්බායි බලා යාමට නියමිතව තිබූ තවත් ගුවන් යානයක්ද යානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අවලංගු කර තිබුණා.