ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ පොලිස් ප්‍රධානියකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පවසනවා.
මන්ත්‍රීවරයා සහකාර පොලිස් අධිකාරීවරයකු සමග එක්ව සැලසුම් සහගතව එම වෙඩි ප්‍රහාරය කර ඇති බව ඔහු සඳහන් කළා.
මේ වන විට මෙම සිදුවිමට සම්බන්ධ බවට සැකකෙරෙන සංජීව මහානාම නමැති සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා විදේශගත වී ඇති බවත් ඔහු විදේශගතවී ඇත්තේ පොලිසියට දැනුම්දී නිසි අවසරයකින් නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
එම සහකාර පොලිස් අධිකාරීවරයා සහ මන්ත්‍රීවරයා එම ප්‍රහාරය සැලසුම් සහගතව කර ඇති බව පෙනී යන බවත් ඒ ගැන විමර්ශන පැවැත්වෙන අතරතුරදී සහකාර පොලිස් අධිකාරිවරයා, බිරිය සහ දරුවන් මෙසේ විදේශගතව ඇති බව විමර්ශනයේදී හෙළි වු බවත් පොලිසිය සඳහන් කරනවා.
සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා කටුනායක ගුවන් තොටුපළට ගොස් සිය ගිනි අවිය කිසිවකු අතේ සේවා ස්ථානයට එවා ඇති බවටද තොරතුරු හෙළි වී ඇතැයි පැවසූ තල්දුව මහතා ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වන බව සඳහන් කළා.
තම ගිනි අවිය වෙනත් අයෙකුගේ යටතට පත් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව පැවසු තල්දුව මහතා සහකාර පොලිස් අධිකාරිවරයා ඊයේ(12) මැලේසියාව බලා පිටත්ව ගොස් ඇති බව පැවසුවා.
උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට එම වෙඩි ප්‍රහාරය සිදුවූයේ 2023 වර්ෂයේ සැප්තැම්බර් 17 වැනිදායි.
අනුරාධපුරයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ ටික වේලාවකින් අනතුරුව අනතුරුව නාඳුනන තුවක්කුකරුවන් ඔහුගේ මෝටර් රථයට වෙඩි තබා ඇති බවට තොරතුරු වාර්තා වුණා.
එම වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථයේ පැති වීදුරුවට අලාභ හානි සිදු වූ නමුත් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදු වුයේ නැහැ.
උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා පසුගිය පෙබරවාරි මස 27 වැනිදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වු අතර පසුව ඔහුද විදේශගත වුණා.