2018 වසරේ සිට 2022 වසර දක්වා කාල සීමාව තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරළ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඉන් අනතුරුව සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 05ක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කළා.
ඊට අමතරව, සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ මහේ ස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වසර 2018 සහ 2022 කාල සීමාව තුළ මෙම සැකකරු වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සැකකරු ඉඩම් කට්ටිකර විකුණන ව්‍යාපාරිකයෙකුගෙන් සැලසුම් අනුමත කිරීම සඳහා රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන බව සඳහන් කළා.
මෙම සැකකරු අදාල අනුමැතිය ලබාදීම සඳහා එක් අවස්ථාවකදී රුපියල් ලක්ෂ 25 ක මුදලක්ද තවත් අවස්ථාවකදී රුපියල් ලක්ෂ 20ක මුදලක් ද අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවත් පැවසුවා.
තවත් අවස්ථාවක තම නිවසේ මිදුලේ ගල් ඇතිරීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසක මුදලක් ලබාගෙන ඇති බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වී ඇතැයි ද එම නිලධාරින් පෙන්වා දුන්නා.
එම වකවානුවේ ජීවිතයට පවතින බිය නිසා පැමිල්ලකරු මෙම පැමිණිල්ල ඉදිරිපත් නොකළ බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් මහේස්ත්‍රාත්වරිය නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළා.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයා ඇපමත මුදාහරිණ ලෙස ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව ඇප නියෝගය ප්‍රකාශයට පත් කළා.
එහෙත්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කළ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරළ, ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.