ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන උසේන් බෝල්ට් පළමුවරට ඔහුගේ නිවුන් දරුවන් ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
නිවුන් පුතුන් දෙදෙනාට තන්ඩර් බෝල්ට් සහ සෙන්ට් ලියෝ බෝල්ට් යනුවෙන් නම් තබා ඇති බව ද බෝල්ට් මාධ්‍ය වෙත පැවසුවා.
උසේන් සහ ඔහුගේ බිරිඳ කාසි බෙනට් ඔවුන්ගේ දෙවැනි දරු උපත මාධ්‍යවලින් රහසක් කරගත් අතර ඔවුන්ගේ මිලියන 10 ක් පමණ ඉන්ස්ටග්‍රෑම් රසිකයින් ගෙන් ද මෙම පුවත රහසක්ව තබා ගනු ලැබුවා.
ඇයට නිදහසේ දරු උපත සිදු කිරීමට අවශ්‍යව තිබුණා.එමෙන්ම ඇයට විවේකය අවශ්‍ය වුණා. එය රහසක් කරගත්තේ එබැවින් යැයි ඔහු මෙහිදී ප්‍රකාශ කළා.
ළමයින් තිදෙනෙකු රැකබලා ගැනීම හෝ මීටර 100 ක් තත්ත්පර 9.6 කින් අවසන් කිරීම යන කරුණු දෙකෙන් වැඩි උත්සහයක් අවශ්‍ය වන්නේ කුමක් සඳහා දැයි මාධ්‍ය විමසූ විට නිරන්තරයෙන් සිනහ මුසු මුහුණින් සිටින බෝල්ට් සිනහවෙමින් නිසැකවම දරුවන් තිදෙනෙක් බලා ගැනීම යැයි පැවසුවා.
‘දරුවන් තිදෙනෙක් එකවර ඇඬීමට පටන් ගැනීම ඉතාම දුෂ්කර දෙයක්.ඒත් ඔවුන් තරම් වටිනා දෙයක් තවත් නැහැ.’
ටෝකියෝ හි ආරම්භ වුණු ඔලිම්පික් උළෙල 2021, ගැන අදහස් ප්‍රකාශ කරමින් නරඹන්නන් නොමැති ක්‍රීඩාංගනයක තරඟ කිරීම හෝ ඇවිදීම ඉතාම අසීරු දෙයක් බව ප්‍රකාශ කළා.
නමුත් ක්‍රීඩකයින්ට සිය අනාගතය වෙනුවෙන් හිස් ක්‍රීඩාංගනවල තරඟ කිරීමට සිදුව ඇතැයි ඔහු පවසා තිබෙනවා.
‘වසංගතය මධ්‍යයේ ක්‍රීඩා ඉදිරියට යන බව විශ්වාස කරන නමුත් දිරගැන්වීමේ ශක්තියෙන් තොරව තරඟ කරන ඕනෑම කෙනෙකු පිළිබඳ කණගාටුයි.මට සෙනග දැනෙනවා, මම ජීවත් වන්නේ ශක්තිය, කම්පනය, ශබ්දය වෙනුවෙන්. ඒ නිසා හිස් ක්‍රීඩාංගනය ඇවිදීම මට නම් බලපානවා’යැයි උසේන් කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කර තිබෙනවා.
