ඉන්දියාවෙන් ලැබුණු ණය ආධාර වලින් ඩොලර් මිලියන 750 ක යකඩ ගෙන්වනවා යැයි ප්‍රකාශ කිරීම සම්පුර්ණයෙන් අසත්‍යයක් බව ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනව.
රජය වැඩි අවධානයක් ලබා දී තිබෙන්නේ ජනතාවට අත්‍යවශ්‍ය ගෑස්, ඉන්ධන, ආහාර සහ ඖෂධ ගෙන්වීමට බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු ගේ පැනයට පිළිතුරු ලබා දෙමින්.
ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය ලැබීමෙන් අනතුරුව එම ණය ආධාරය භාවිතා කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව සාකච්ඡාවක් තිබී එම සාකච්ඡාවේ දී පළමුව ඩොලර් මිලියන 300 ක් ආහාර, ඩොලර් මිලියන 200 ක් ඖෂධ සහ ඩොලර් මිලියන 500 ක් කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා යෙදවිමට පමණක් තීන්දු කර ඇති බව ඔහු පවසනවා.
එහෙත්, මෙම අමුද්‍රව්‍ය වනාහි බොහෝවිට අපනයනය සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
පසුගිය දිනවල මෙරට පැවති ඩොලර් අර්බුදය නිසා එම අමුද්‍රව්‍ය ගෙන්වීමට නොහැකි ව තිබුණු බවත් ඔහු පෙන්වා දෙනවා.
කෙසේවුව ද, මෙරට ඉන්ධන සහ ගෑස් සම්බන්ධයෙන් විශාල අර්බුදයක් පැනනැගුනු හෙයින් එම ණය ආධාර වලින් අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 260 ක් ද, ආහාර සඳහා ඩොලර් මිලියන 180ක්, ඖෂධ සඳහා ඩොලර් මිලියන 200 ක්, ගෑස් සඳහා ඩොලර් මිලියන 160 ක් වශයෙන් වෙන් කෙරෙන බව අමාත්‍යවරයා පවසනවා.
වානේ ගෙන්වීම සඳහා මෙමඟින් යෙදවෙන්නේ ඩොලර් මිලියන 40 ක් පමණක් බවත් ඒ අනුව, ණය ආධාර වලින් ඩොලර් මිලියන 750 ක යකඩ ගෙන්වනවා යැයි එල්ල කරන චෝදනා සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා.