අමෙරිකානු ඩොලර් මිලියන 250ක ස්වෛරී බැඳුම්කර ණය මුදල ආපසු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකානු අධිකරණයක් හමුවේ නඩු පැවැරූ හැමිල්ටන් රිසර්ච් බැංකුවට එම මුදල් ආයෝජනය කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් මෙරටින් පිට කළ විදේශ මුදල් දැයි සැකයක් මතුව ඇති බව ත් මේ සම්බන්ධයෙන් අමෙරිකානු පර්යේෂක දෙපළක් විසින් විමර්ශනයක් කර ගෙන යනු ලබන බවට වාර්තා වනවා.
මෙම බැංකුව උතුරු අමෙරිකානු දූපතක් වන “සෙන්ට් කිට්ස් ඇන් නේවිස්” දූපත්වල මූලස්ථානය වන අතර එහි පිටුපස සිටින ප්‍රධාන ආයෝජකයා ‘බෙන්ජමින්-වේ’ නමැති චීන සම්භවයක් සහිත අමෙරිකානු ආයෝජකයකු බව සඳහන්.
ඔහු 2022 වසරේදී, ශ්‍රී ලංකාව, ණය ආපසු නොගෙවන බව මහ බැංකුව මඟින් ප්‍රකාශ කරනු ලැබීමෙන් පසුව, එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් එවමින් මෙම මුදල ආපසු ලබා දීමට පියවර ගන්නා ලෙසත් එසේ නැතහොත් රටේ ආර්ථිකයට අහිතකර ප්‍රතිඵල අත්විය හැකි බවටත් අනතුරු අඟවා තිබෙන බවට සඳහන් වනවා.
මෙම බැංකුකරුවාගේ සබඳතා සහ පෙර ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ශනයක යෙදෙන අමෙරිකානු විශ්වවිද්‍යාල පර්යේෂක දෙපළක් මේ වනවිට එම ගනුදෙනුවට අදාළ ලේඛන විමර්ශනයට ලක් කරමින් සිටින අතර ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් මිලියන 150ට ආයෝජනය කර ඇත්තේ සෙන්ට් කිට්ස් සහ නේවිස් දූපතේ පිහිටි බැංකුවේ මුදල් ආයෝජනය කළ ශ්‍රී ලාංකිකයන් බවට සැකයක් මතුවන බව සඳහන් කරනවා.
කෙසේ වුව ද අදාළ ස්වෛරී බැඳුම්කර නිකුතුවට අදාළ කොන්දේසි පිරික්සීමේදී මෙම ණය මුදල ආපසු ගෙවීමේදී සැබෑ ලෙසින් ම බැංකුවේ තැන්පතු ආයෝජනය කළ පුද්ගලයන් පිළිබඳව වාර්තාවක් අධිකරණය හරහා ලබා ගැනීමේ ඉඩක් පවතින බව අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ අනුව අවශ්‍ය නම් විත්තිකාර ශ්‍රී ලංකා රජයට අධිකරණය හරහා මෙම තොරතුරු අනාවරණය කර ගැනීමේ හැකියාව පවතින බව මේ පිළිබඳව වාර්තාවක් පළ කර ඇති ලන්ඩනයේ ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ පුවත්පත සඳහන් කරනවා.