යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි, යුක්රේනය ඔටාවා සම්මුතියෙන් ඉවත් කර ගැනීම සඳහා නියෝගයකට අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔටාවා සම්මුතිය යනු බිම් බෝම්බ නිපදවීම හා, රටවල් සතුව පවතින බිම් බෝම්බ විනාශ කිරීම සඳහා රටවල් එකමුතු කර ගැනීම වෙනුවෙන් එළඹී ඇති “බිම් බෝම්බ තහනම් කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ ගිවිසුම”යි.
ඔටාවා සම්මුතියෙන් යුක්‍රේනය ඉවත් වෙන්නේ ඇයි?

ඔටාවා සම්මුතියට අයත් නොවන රුසියාව, යුද්ධයේදී “බිම් බෝම්බ” නැතහොත් “පුද්ගල නාශක බෝම්බ” දරුණු ආකාරයට භාවිත කිරීමත් සමඟ යුක්‍රේනයට තවදුරටත් ඔටාවා සම්මුතියේ රැඳී සිටීම රුසියාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සීමා කරන බව සෙලෙන්ස්කිගේ විශ්වාසය වී තිබෙනවා.
සිය තීරණය දැනුම් දෙමින් නිකුත් කළ වීඩියෝ පණිවිඩයකදී යුක්‍රේන ජනපති සෙලෙස්න්කි මෙසේ අදහස් පළ කර තිබෙනවා.
“මේක රුසියානු ඝාතකයින්ටම වෙන්වුණු ලක්ෂණයක්. ඔවුන්ට හැකි සෑම ආකාරයකින්ම ජීවිත විනාශ කරන්න ඔවුන් පෙළඹී තිබෙනවා. යුරෝපයේ අපගේ අනෙකුත් අසල්වැසි රටවල් මේ තර්ජනයට ප්‍රතිචාර දක්වන ආකාරය අපි නිරීක්ෂණය කර තිබෙනවා.”
“යුද්ධය අතරතුර මෙම සම්මුතියෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමඟ මතු විය හැකි සංකීර්ණතා පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා. නමුත්, අපි මේ දේශපාලනික පියවර ගන්නේ අපගේ අනෙකුත් දේශපාලන හවුල්කරුවන්ට අවධානය යොමු කළ යුතු දේ පිළිබඳ සංඥාවක් ලබා දීමේ අරමුණෙන්. රුසියාවට මායිම්ව ඇති සියලුම රටවලට මේ තත්වය අදාළ වන බව අපි විශ්වාස කරනවා”
2005 වසරේදී ඔටාවා සම්මුතිය සමඟ එක් වුණු යුක්‍රේනය ඉන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ, රුසියාවට මායිම්ව ඇති අනෙකුත් රටවල්වන, ෆින්ලන්තය, පෝලන්තය සහ පැවති සෝවියට් බෝල්ටික් රාජ්‍යයන් වන එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව යන රටවල් මේ වන විටත් ඔටාවා සම්මුතියෙන් ඉවත් වී ඇති මෙන්ම ඉවත් වීමට සූදානම් බව නිවේදනය කර ඇති පසුබිමකයි.
මොකක්ද මේ ඔටාවා සම්මුතිය?

පුද්ගල නාශක බිම්බෝම්බ භාවිතය, තොග ගබඩා කිරීම, නිෂ්පාදනය සහ හුවමාරු කිරීම තහනම් කිරීම සහ ඒවා විනාශ කිරීම පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම, ඔටාවා සම්මුතිය එනම් පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ ගිවිසුම ලෙස හැඳින්වෙනවා.
1997 සැප්තැම්බර් 18 වන දින නෝර්වේහිදී පැවති පුද්ගල නාශක බිම් බෝම්බ සඳහා ජාත්‍යන්තර සම්පූර්ණ තහනමක් පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික සමුළුවේදී මෙම සම්මුතිය පිළිබඳ සාකච්ඡා අවසන් කර තිබෙනවා.
මෙම එකඟතා ගිවිසුම කැනඩාවේ ඔටාවා නගරයේදී මුල් වරට අත්සන් කරනු ලැබුවේ 1997 දෙසැම්බර් 3 සිට දෙසැම්බර් 4 දක්වා කාලය අතරතුරයි.
ඉන් අනතුරුව එය රටවල්වලට අත්සන් කිරීමට හැකි වන පරිදි නිව්යෝර්ක් නගරයේ, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ විවෘතව තැබුණා.
මෙම එකඟතා ගිවිසුම නිල වශයෙන් බලාත්මක වීම ආරම්භ වූයේ 1999 මාර්තු 1 වැනිදායි.
බිම් බෝම්බ, පුද්ගල නාශක සහ වාහන නාශක බිම් බෝම්බ ලෙස ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් පවතින අතර යුද ගැටුම් අවසන් වී බොහෝ කාලයකට පසුවත් සිවිල් වැසියන් සහ අවට සැරිසරන පුද්ගලයින් මරණයට පත් කිරීමට හෝ තුවාල සිදු කිරීමට මේවා හේතුවෙනවා.
ඔටාවා සම්මුතිය යටතේ පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කර කෙරෙන අතර මේ වන විට ගෝලීය පුද්ගල නාශක බිම් බෝම්බ නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් නවතා දැමීමට එම සම්මුතිය මැදිහත් වී තිබෙනවා.
එම සම්මුතිය, පුද්ගලනාශක බිම්බෝම්බ විශේෂයෙන්ම ගැටුම්වලින් බලපෑමට ලක්වූ ප්‍රදේශවල සිවිල් වැසියන් කෙරෙහි ඇති කරන්නා වූ විනාශකාරී බලපෑමට පිළියම් යෙදීමේ ගෝලීය ප්‍රයත්නයට අදාළ වැදගත් නීතිමය ලියවිල්ලක් වෙනවා.
බිම්බෝම්බ ආශ්‍රිත වින්දිතයන් අවම කිරීමට සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ ප්‍රයත්න ප්‍රවර්ධනයට දායක වෙමින් මේ දක්වා රාජ්‍යයන් 164 ක් සම්මුතියෙන් බැඳී සිටීමට නිල වශයෙන් එකඟ වී තිබෙනවා.
කෙසේවෙතත්, රුසියාව, එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, පාකිස්තානය සහ ඊශ්‍රායලය යන රටවල් ඔටාවා සම්මුතියට මෙතෙක් එක්ව නැහැ.
ඔටාවා සම්මුතියේ ක්‍රියාකාරීත්වය ඔස්සේ ගබඩා කර තිබූ බිම් බෝම්බ මිලියන 40කට අධික ප්‍රමාණයක් විනාශ කර ඇති අතර, දිවි ගලවා ගත් අයට සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජීවත් වන ජනගහනයට ආධාර ලබා දී ඇති බව එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ කමිටුව මඟින් පළ කරන ලද තොරතුරුවල දැක්වෙනවා .
එමෙන්ම, බිම් බෝම්බ ඉවත් කරන ලද සහ සැක සහිත අවදානම් සහිත ප්‍රදේශ විශාල සංඛ්‍යාවක් බිම් බෝම්බ වලින් තොර බව ප්‍රකාශයට පත් කර ඵලදායී භාවිතය සඳහා මුදා හැරීමටද එම සම්මුතිය යටතේ පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවත් ඔටාවා සම්මුතියට අයිති රටක්

ශ්‍රී ලංකාවේ, උතුරු, නැගෙනහිර සහ උතුරු මැද යන පළාත් තුනේ වර්ග කිලෝ මීටර් 160 ක බිම් ප්‍රමාණයක බිම් බෝම්බ විසිර ඇති බව තාක්ෂණික වශයෙන් මෙහෙය වූ පර්යේෂණ වල දී හෙළි වී ඇතැයි 2017 වසරේදී , පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම භාර අමාත්‍යාංශය වාර්තා කර තිබුණා.
ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් ජාත්‍යන්තර බිම්බෝම්බ හා පොකුරු බෝම්බ පිටුදැකීම සම්බන්ධයෙන් වූ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් කළ යුතු බව එවකට මෙරට උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත සංවිධාන අවධාරණය කර තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකාව 2017 වසරේ දෙසැම්බර් 13 වන දින පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතියේ 163 වෙනි රාජ්‍ය පාර්ශ්වය බවට පත්වෙමින් එයට අත්සන් තැබීම සිදු කරනු ලැබුවා.
එය ශ්‍රී ලංකාව තුළ බලාත්මක වී ඇත්තේ 2018 ජූනි 1 වැනි දින සිටයි.
පසුගිය වසරේ පැවති මානුෂවාදී බිම් බෝම්බ පිටු දැකීමේ ජාත්‍යන්තර සමුළුවේදී බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර ගිවිසුම අනුව බිම්බෝම්බ පිටු දැකීමේ ක්‍රියාවලියේ දී එක් එක් රටවල් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවට ගෙන තිබුණා.
එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගීවූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් හා ජාතික බිම්බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ එස්. සත්‍යානන්ද මහතා සමුළුව හමුවේ පවසා තිබුණේ, ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල වර්ග කි.මී. 3000කට අධික භූමි ප්‍රදේශයක බිම් බෝම්බ ඉවත් කර ඇති බවයි.
ඉදිරි වසර 03තුළ ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමට ඇත්තේ වර්ග කිලෝ මීටර් 23ක පමණ භූමියක පමණක් බවත් සත්‍යානන්ද මහතා සමුළුවේදී පෙන්වා දී තිබුණා.

බිම් බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය, විසින් පළ කර ඇති දත්තවලට අනුව 2024 වසරේ දෙසැම්බර් 31 දින වන විට නිසැක කිරිම සඳහා තවදුරටත් ඉතිරිව පවතින භූමි ප්‍රමාණය ව.කි.මී. 23.1 ක් ලෙස දැක්වෙනවා.
එමෙන්ම, 2024 වර්ෂයේදී ව.කි.මී. 6.7ක භූමි ප්‍රමාණයක් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.