කොටහේන ප්‍රදේශයේ මහල් නිවාසයකින් පැන දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා .
එම විශේෂ නිවේදනයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය වල දැඩි කතා බහට ලක් වූ බවත් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
එසේම 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ 14(C). (ඌ).(ඉ) වගන්ති සහ 24 සහ 37 වහන්ති ප්‍රකාරව කොටහේන සහ බම්බලපිටිය යන පොලිස්ථාන වලින් උක්ත සිදුවීම සම්බන්ධයෙන් නියාමන වාර්තා කැදවා ඇති බවද සදහන් කර තිබෙනවා.
තවද, පාසල් තුළ ළමයින්ට සිදු කරනු ලබන ශාරීරික, මානසික හා ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් නොදීම, පාසලේ කීර්ති නාමය ආරක්ෂා කිරීමේ අරමුණින් හෝ පැමිණිලිකාර පාර්ශවයන් අධෛර්යට පත් කිරීම වැනි විවිධ කරුණු නිසා සිදු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරීක්ෂණය කර බවද නිවේදනය මඟින් අවධාරණය කරනවා.
මෙම තත්වයන් අවම කරගැනීම සඳහා මේ වන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් මෙවන් අපයෝජන අවස්ථාවන්වලදී ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් පහත කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද පවසනවා.
01. යම් ළමා අපයෝජන සිද්ධියක් පාසල තුළ වාර්තා වූ වහාම විදුහල්පති විසින් හෝ වගකිව යුතු පාර්ශවයක් විසින් ඒ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පහත සඳහන් මාර්ග (පැය 24 පුරා ක්‍රියාත්මක 1929 ළමා උපකාරක සේවය මඟින්, nepa@ child protection.gov.lk විද්‍යුත් ලිපිනයට හෝ, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, අංක 330, තලවතුගොඩ පාර, මාදිවෙල, ශ්‍රී ජයවර්ධනපුර යන ලිපිනය) ඔස්සේ වාර්තා කරන ලෙස සියලු පාසල් වලට උපදෙස් ලබා දීමට කටයුතු කිරීම.
02. ළමා අපයෝජනයක සැකකරුවන් යැයි චෝදනා ලබන විදුහල්පතිවරු හෝ ගුරුවරු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටත්, අවසාන නඩු තීන්දුව ලැබෙන තෙක් ඔවුන්ට තව දුරටත් ළමයින් සමඟ කටයුතු කිරීම් වළක්වාලීමට අවශ්‍ය පියවර ගැනීමට සහ අදාළ අධ්‍යාපන බලධාරීන් වෙත උපදෙස් ලබා දීම.
03. තවද එකී වග උත්තරකරුවන්ට එරෙහිව අභ්‍යන්තර විනය පරීක්ෂණ පවත්වන අවස්ථා වලදී වින්දිතළමයින් තව දුරටත් පීඩාවට පත් නොවන පරිදි එකී පරීක්ෂණ පැවැත්විය යුතු බවට අදාළ බලධාරීන් දැනුවත් කිරීම.
04. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් හෝ පොලිසිය මඟින් ළමා අපයෝජන වල සැකකරුවන්ට එරෙහිව නීතිය බලාත්මක කරන විට පැමිණිලිකාර ළමයින් පාසලෙන් ඉවත් කිරීම හෝ ළමයින්ට බලපෑම් සිදු කිරීම, එම ළමයින් කොන් කිරීම හෝ ලේබල් කිරීම යන අගතිගාමී ක්‍රියාමාර්ග වලින් වැළකී සිටිය යුතු බවට අදාළ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම.