දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන, කොතලාවලපුර දුම්රිය නිවාස 546 සඳහා එම නිවාසවල පදිංචි එක් නිලධාරියෙකුගෙන් ජල බිල්පත් වෙනුවෙන් මසකට රුපියල් 5ක මුදලක් අය කිරීම නිසා ඉකුත් වසර තුන තුළ ජල බිල්පත් ලෙස රුපියල් නවකෝටි, විසිතුන් ලක්ෂ, අනූඅට දහස් පන්සිය තිස්දෙකක (92,398,532) මුදලක් දෙපාර්තමේන්තුව විසින් දරා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉන්ජිනේරු උප දෙපාර්තමේන්තුවේ කොතලාවලපුර දුම්රිය නිවාස 546 සඳහා ජල බිල්පත් ලෙස වසරකට රුපියල් මිලියන 30කට අධික මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දරනු ලබන බව විගණන වාර්තාවේ සඳහන්.
මෙම නිවාසවල නිසි පරිදි ජල මීටර් සවිකර වියදම් කළමනාකරණය කළ යුතු බව විගණනය මඟින් නිර්දේශ කර තිබෙනවා.
මේ පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ, නිල නිවාස 546න් 509ක් සඳහා නව ජල මීටර් සවිකර Bulk සැපයුම අවසන් කර ඇති බවයි.
ජල මීටර් සවි නොකළ බව දක්වන ඉතිරි දුම්රිය නිවාස 7ට ද ජල මීටර් සවිකොට ඇති බවත් ඉතිරි නිවාස දැනට පදිංචි වී නොමැති නිවාස බවද ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විගණනයට පවසා තිබෙනවා.
ගණන් දීමේ නිලධාරියා විගණනයට සඳහන් කර තිබුණේ ජල මීටර් සවිකොට ඇති බැවින් නියමිත පරිදි ජල බිල්පත් අයකිරීම මේ වන විට සිදුකරමින් පවතින බවයි.