ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු 11.14% කින් අඩුකෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසා සිටි අතර ඒ අනුව, අවම බස් ගාස්තුව ද රුපියල් 34ක් දක්වා අඩුවන බව එම කොමිසම සඳහන් කරනු ලැබුවා.
කෙසේ නමුත්, ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබීම මෙන්ම කිසිදු දැනුම් දීමක් හෝ සාකච්ජාවක් නොකර බස් ගාස්තු අඩු කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් අද (05) සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කළ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් විසින් පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ජාවේදී පවසා සිටියා.
QR කේතය යටතේ සතියකට බස් රථයක් සඳහා ලැබෙන්නේ ඩීසල් ලීටර 40ක් වන බවත් එය කිසිසේත්ම බස් ධාවනය සඳහා ප්‍රමාණවත් නොවන බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පෙන්වා දෙනවා.
එම ප්‍රමාණයෙන් දුරගමන් සේවා බස් රථයකට පැයක පමණ කාලයක් ධවනය කළ හැකි අතර කෙටි දුර ධාවන බස් රථයකට ප්‍රමාණවත් වන්නේ වරුවකට පමණක් බවයි ඔහු අවධාරණය කරන්නේ.
බස් රථ බස් රථ 13000 දෛනිකව ධාවනය කිරීම සඳහා ඩීසල් ලබාදීමට ආණ්ඩුවට නොහැකි නම් දිනකට ධාවනය කළ හැකි ප්‍රමාණය නම් කර එම ප්‍රමාණයට හෝ ප්‍රමාණවත් ලෙස ඩීසල් ලබා දීමට යෝජනා කරන නමුත් එය ඉටු කිරීමටද ආණ්ඩුව අපොහොසත් බව ඔහු සඳහන් කරනවා.
ඒ අනුව, මෙම දීප ව්‍යාප්ත බස් රථ වර්ජනයට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය,අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය,පොදුජන එක්සත් බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා එක්සත් බස් හිමියන්ගේ සංගමය එක්ව සිටිනවා.