ගම්පහ – ඔරුතොට පාර අසල ඇති ව්‍යායාම් මංතීරුව යළි පිළිසකර කිරීමේ ව්‍යාපෘතියක් යළි ආරම්භ කර ඇතැයි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

එම ඇවිදින මංතීරුව මේ වන විට කැඩී බිදී ගොස් ඇති නිසා එය පිළිසකර කර ගෙවල්වලට සිරවී සිටින, ආතතියක් සහිත පුද්ගලයින් හට නිදහසේ ඇවිදීමට හා ව්‍යායාම කිරීමට අවස්ථාව ලබාදෙන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

මංතීරුව අසළ ඇති පුරුන් වී තිබූ වෙල් යාය ගම්වාසීන් යළි වගා කිරීම ආරම්භ කර තිබෙන නිසා ගොවිජන කමිටුවේ ඉල්ලීම මත ට්‍රැක්ටර් පැන්නුමක් හා දියනෑමට පහසුකම් සහිත කුඩා පාලමක් වැනි අවශ්‍යතාද සපුරාලන්නට මේ වන විට සැලසුම් කර ඇති බවට අමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව එම මංතීරුව නිරීක්ෂණය කිරීම සඳහා පසුගියදා රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා එහි සංචාරයක නිරතව තිබෙනවා.

එම ඡායාරූපවලට අනුව අමාත්‍යවරයා සංචාරය කරන විටත් ප්‍රදේශවාසීන් ව්‍යායාමවල නිරතව සිටින අතර ඇතැමුන් අමාත්‍යවරයාව ගණනකට නොගෙන අහක බලමින් සිටින අයුරු දක්නට ලැබෙනවා.

ඇතැමෙක් නාලක ගොඩහේවා මහතාට පස්ස හරවමින් තවදුරටත් ව්‍යායාමයේ පමණක් නිරතව සිටින අපූරු ඡායාරූපද එම ඡායාරූප අතර වනවා.