25 C
Colombo
Friday, March 29, 2024

IMF ණය ප්‍රමාදයට වගකිය යුත්තේ කවුද ?

- Advertisement -

අන්තර්ජාතික මුල්‍ය අරමුදල(IMF) සමග ශ්‍රී ලංකාව සාකච්ඡා කරමින් සිටින්නේ ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් වෙනුවෙනි. එම ණය ලැබීම පිලිබඳව මෙතෙක් නිශ්චිත කාල වකවානුවක් සඳහන්ව නැතත්, ශ්‍රී ලංකා රජය කලින් අපේක්ෂා කරන ලද්දේ 2022 දෙසැම්බර් වන විටවත් එම ණය මුදල ලබාගත හැකි වනු ඇති බවටයි. එහෙත් එම අපේක්ෂාවන් මෙතෙක් යථාර්තයක් බවට පත්වන ලකුණු පෙනෙන්නට නැත. ඊට හේතුවී ඇත්තේ දැනටමත් බොහෝ දෙනා දන්නා ආකාරයට මෙතෙක් ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති විදේශ ණය, විශේෂයෙන් ද්විපාර්ශ්වික ණයහිමියන්ගෙන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගැනීමට රටේ සියලුම ණයහිමියන් එකඟ කරවා ගැනීමට රජය මෙතෙක් සමත්ව නැති වීමයි.

මුල්‍ය අරමුදලේ ප්‍රධානම කොන්දේසියක් වන්නේ සිය ණය මුදල නිදහස් කිරීමට ප්‍රථම, අනෙකුත් ණය හිමියන් වෙතින් ලබාගෙන ඇති ණයවලින් අත්‍යවශ්‍ය කොටසක් ආපසු ගෙවන ආකාරය පිළිබඳව එකඟතාවක් ඇතිකර ගැනීමයි. මිට පෙර 16 වතාවක් මුල්‍ය අරමුදල වෙතින් ශ්‍රී ලංකාව ණය පහසුකම් ලබාගෙන ඇතත්, ඒ කිසිදු අවස්ථාවක මෙවැනි කොන්දේසියක් පැනවීමට IMF කටයුතු කළේ නැත. ඊට හේතුව එම සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව විසින් ලබාගන්නා ණය ආපසු ගෙවීමේ හැකියාව රට සතුව පැවතීමයි. එමනිසා යම් මුලික කොන්දේසි කිහිපයක් සැපිරීමෙන් අනතුරුව විශාල මහන්සියකින් තොරව IMF වෙතින් ණයක් ලබාගැනීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුව පැවැතිණි.

එහෙත් මෙවර තත්වය සම්පුර්ණයෙන්ම වෙනස්ය. පසුගිය අප්‍රේල් මාසයේදී තවදුරටත් සිය විදේශ ණය ආපසු ගෙවීමේ හැකියාවක් රටට නොමැති බව, එනම් රට බංකොලොත් බව, ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේය. ඒ අනුව ලෝකය හමුවේ ශ්‍රී ලංකාවේ ණය තවදුරටත් ‘තිරසාර’ නැත. එම නිසා IMF වෙතින් හෝ වෙනයම් පාර්ශ්වයකින් නිල වශයෙන් ණය මුදලක් ලබාගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකාව විසින් අනිවාර්යයෙන්ම, සිය පැරණි ණය ආපසු ගෙවන ආකාරය පිළිබඳව නව ණයහිමියන්ට පෙන්වාදිය යුතුය. එය ලොව ඕනෑම මුල්‍ය ආයතනයකින් ණයක් ලබාගැනීම සම්බන්ධයෙන් පවතින ස්වාභාවික තත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. IMF විසින් මෙවර 17වන වතාවේදී ශ්‍රී ලංකාවට සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරවාගත යුතු බවට නව කොන්දේසියක් පනවා ඇත්තේ එම නිසාය.

සිය ණය ප්‍රතිවුහගතකරණය කරවාගනිමේදී ශ්‍රී ලංකාව මුහුණදී සිටින ප්‍රධානම අභියෝගය පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රථම රටේ ණය කන්ද පිළිබඳ නවතම තත්වය අවබෝධ කරගැනීම වටී. ශ්‍රී ලංකාවේ හිඟ විදේශ ණය පිළිබඳ නිල දත්ත මහා භාණ්ඩාගාරය පසුගිය සතියේ නිකුත් කළේය. ලෝකයේ නවතම ස්වෛරී ණය පැහැර හරින ලද රට වන ශ්‍රී ලංකාව මේ වසරේ ජුනි 30 වන විට ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික සහ වාණිජ ණය ඇතුළුව ඩොලර් බිලියන 35 ක් ණය ලොවට ණයවී ඇති බව එම නිල දත්ත පෙන්වා දෙයි. කෙසේවෙතත් මීට දේශීය ණය කිසිවක් ඇතුලත් නොවේ. දේශීය ණයත් සමග ගත් කළ එහි සම්පුර්ණ වගකීම ඩොලර් බිලියන 89 ඉක්මවන බව මහ බැංකු වාර්තා අනාවරණය කරයි (එහි ඇති හාස්‍යජනක මෙන්ම භයානක තත්වය වන්නේ ශ්‍රී ලංකා ආර්ථිකයේ සම්පුර්ණ වටිනාකම තක්සේරු කර ඇත්තේද ඩොලර් බිලියන 84කට පමණක් වීමයි).

භාණ්ඩාගාර දත්තවලට අනුව ඉහත කී ඩොලර් බිලියන 35ක ණය මුදලින් බිලියන13.8ක ප්‍රමාණයක් ද්විපාර්ශ්වික ණය වශයෙන් ලබාගෙන ඇති අතර, එම ප්‍රමාණයෙන් 52%ක්ම හිමිව ඇත්තේ චීනයටය. ඉතිරි 48%ක ණය ප්‍රමාණය ඉන්දියාව,ජපානය සහ පැරිස් සමාජය නියෝජනය කරන තවත් රටවල් 21ක් අතර බෙදීගොස් ඇත. අර්බුදය පටන් ගන්නේ මෙතැන් සිටය. වසර 26ක සිවිල් යුද්ධයක් අවසන් වීමෙන් පසු, මෑත අතීතයේ වැඩිම ණය ප්‍රමාණයක් මෙරටට ලබාදී ඇති චීනය විසින් වන අතර ඔවුන් සිය ණය තොගයෙන් වැඩිම ප්‍රමාණයක් ලබාදී ඇත්තේ චීන වාණිජ ආයතන හරහාය. එම ණය, ව්‍යාපෘති ශක්‍යතාව සහ ආයෝජනයේ ප්‍රතිලාභ තක්සේරු නොකර ඉතා ලිහිල් කොන්දේසි යටතේ ලබාදී, නැවත ගෙවීම දුෂ්කර කිරීම සම්බන්ධයෙන් චීනයට එල්ලවී ඇති චෝදනා ප්‍රමාණය අතිමහත්ය. චීන ණය උගුල විසින් ශ්‍රී ලංකාවද ගොදුරු කරගෙන ඇති බව එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ජාතින් චෝදනා කරන්නේ එමනිසාය.

කෙසේවෙතත් IMF නිර්දේශයට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව සහ ජපානය ඇතුළු අනෙකුත් ශ්‍රී ලංකාවේ සියලුම ණයහිමියන් පාහේ මේ වන විට මෙරටට ලබාදී ඇති සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට කැමැත්ත දක්වා ඇත. එහෙත් පෙරකී ලෙස ගැටලුව ඇත්තේ චීනය සම්බන්ධයෙනි. මේ වන විට වාර්තා අනාවරණය කරන ආකාරයට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් චීනය මෙතෙක් අවධානය යොමු නොකිරීම හේතුවෙන් අන්තර්ජාතික මුල්‍ය අරමුදල වෙතින් ලබාගැනීමට අපේක්ෂා කරන ණය පහසුකම තවදුරටත් ප්‍රමාද වෙමින් පවතී. ජනාධිපති රනිල් වික්‍රමසිංහද පසුගිය සතියේ ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සම්මේලනය අමතමින් පෙන්වා දුන්නේ, 2022 දෙසැම්බර් මාසය වන විට IMF ඉලක්ක සපුරාගැනීම අසීරු වියහැකි බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශ්වික ණයකරුවා වන චීනය, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනයට සම්බන්ධ වී සිටි නිසාත්, කොළඹ සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා පැවැත්වීමට චීනය මෙතෙක් අවධානය යොමුකර නැති නිසාත් මෙම ප්‍රමාදය සිදුවිය හැකි බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

“අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතුයි. ඒ සඳහා අපිට ණය ලබාදුන් අය සමඟ සාකච්ඡා කිරීමට අපිට සිදු වෙලා තිබෙනවා. ඒ සඳහා මුලින්ම මම බටහිර සහ ජපාන ණය දෙන්නන්ගෙන් සමන්විත පැරිස් සමාජය සමග සාකච්ඡා ආරම්භ කළා. අපිට ණය ලබාදෙන ප්‍රධාන රටවල් 03න් එක් රටක් වන ජපානය තමයි පැරිස් සමාජයේ ඉන්නේ. අපිට ණය දෙන අනෙක් ප්‍රධාන රටවල් දෙක වන චීනය සහ ඉන්දියාව ඒ අතර නැහැ. චීනය ප්‍රථමයෙන්ම බංකොලොත්භාවය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කළේ සැම්බියාව සමඟයි. මම හිතන්නේ ඉන්දියාව පළමුව එය සිදු කරන්නේ ශ්‍රී ලංකාව සමගයි. මම මේ වන විටත් ජපානය සමඟ සාකච්ඡා ආරම්භ කරලයි තිබෙන්නේ. ඉන් පසුව ඉන්දියාව සහ චීනය සමඟත් සාකච්ඡා කර තිබෙනවා. එකිනෙකාට බලපාන ද්විපාර්ශ්වික ගැටලු පිළිබඳ සාකච්ඡා කරන අතරම එය විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳ පොදු වේදිකාවකට පැමිණිය යුතුයි. අපිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර නොවැම්බර් මාසය මැද වන විට ගිවිසුමකට එළැඹ, දෙසැම්බර් මාසය මැද වන විට අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යෑමට හැකි වුවහොත් ඉතා වාසිසහගත තත්ත්වයක් උදාකරගත හැකියි. චීනයේ පක්ෂ සම්මේලනයෙන් පසුව මේ පිළිබඳ අවධානය යොමුව තිබෙන නිසා මෙය සාර්ථක කර ගැනීමට පුළුවන් වෙයිද කියා මම දන්නේ නැහැ.”

ජනාධිපතිවරයා මේ නොකියා කියන්නේ චීනය ශ්‍රී ලංකාවේ ණය පිළිබඳව මෙතෙක් කිසිදු සැලකිල්ලක් දක්වා නොමැති බව මිස අන් කිසිවක් නොවේ. ශ්‍රී ලංකාව විසින් තමන්ට ලබාදී ඇති ණය වෙනුවෙන් යම් සහනයක් ලබාදෙන ලෙස චීනයෙන් ඉල්ලා සිටියේ අදක ඊයෙක නොවේ. 2022 වසර ආරම්භයේදී මෙරට සංචාරයක නිරතවූ චීන විදේශ ඇමැති වැන්ග් යී ගෙන් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළමුවරට නිල වශයෙන් එම ඉල්ලීම සිදු කළේය. ඒ වන විට ශ්‍රී ලංකාව සිය ණය ආපසු ගෙවිය නොහැකි බවක් නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණේද නැත. එතැන් සිට වාර ගණනාවකදීම නිල හා නොනිල වශයෙන් මාස 11ක් තිස්සේ ශ්‍රී ලංකාව සිය ණය වෙනුවෙන් සහනයක් ඉල්ලා සිටියද චීනය ඒ සම්බන්ධයෙන් පසුවන්නේ නෑසූ කන්වය.

එසේ යැයි කියා ශ්‍රී ලංකාවට IMF වැඩසටහනේදී අනෙකුත් ණය හිමියන් සමග පමණක් මේ ගමන යෑමට හැකියාවක් නොමැත. සියලුම ණයහිමියන්ට එකඟවිය හැකි අවබෝධතා ගිවිසුමක් සකස් කරගන්නා තුරු IMF ණය වැඩසටහන සාර්ථක වන්නේ නැත. IMF විධායක මණ්ඩලය ණය නිකුත් කිරීම සඳහා සිය අවසන් අනුමැතිය ලබාදෙන්නේ නැත. යම් හෙයකින් ලබන දෙසැම්බර් මාසයේදී IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ශ්‍රී ලංකා අපොහොසත් වුවහොත් එය තවත් මාස 03ක පමණ කාලයකින් ප්‍රමාද වනු ඇතැයි පැවසේ. ඊට හේතුවී ඇත්තේ IMF විධායක මණ්ඩලයේ මීළඟ රැස්වීම 2023 මාර්තු මාසයේ පැවතීමට නියමිතව තිබීමයි. ඒ අනුව පැහැදිලිවම පෙනීයන්නේ, ශ්‍රී ලංකාව දැවැන්ත ණය උගුලක පැටලවූ චීනය විසින්ම එම අර්බුදයෙන් ගොඩ ඒම වෙනුවෙන් වන මාර්ගයට පිවිසීමට ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම මගහරිමින් සිටින බව මිස අන් කිසිවක් නොවේ.

RECENT ARTICLES - SINHALA

විදුලිසැර වැදී සිසුන් දෙදෙනෙක් රෝහලේ

දෙනියාය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ නිවාස ඉදිකිරිම සඳහා උණ ගස් කැපිමට ගිය විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට විදුලිසැර වැදිම හේතුවෙන් රෝහල්ගත කර තිබෙන බවට...

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...