ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි ඌවතැන්නේ සුමන හිමියන්ට අද (3) ජනාධිපති සමාව ලැබීම සමග නැවතත් එහිමියන්ගේ දේශපාලනය ගැන කතාවෙමින් තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භික්ෂු සංගමයේ හිටපු ලේකම්වරයකු වූ සුමන හිමියන් යනු සක්‍රීය දේශපාලන චරිතයක් නිසාත් සිර දඬුවම මාස කීපයක් වැනි කෙටි කාලයකින් නිමාවීම නිසාත් මේ කවුදැයි බොහෝ දෙනකුගේ අවධානය යොමුවීම ස්වාභාවිකය.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා 2020 ජුනි 1 වැනිදා සුමන හිමියන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කළේ 2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ටී-56 ගිනි අවියක් ලඟ තබා ගැනීමේ චෝදනාවටය.
කෙසේ වෙතත් ටී-56 ගිනි අවි ලඟ තබාගැනීමේ චෝදනා හැර අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගත් බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහිව එම නඩුවේදී නඟා තිබු සියළු චෝදනාවන්ගෙන් උන් වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා එහිදී වැඩිදුරටත් නියම කළේය.
ඌවතැන්නේ සුමන හිමියන් සමඟ එම නඩුවේ දෙවැනි විත්තිකරු වශයෙන් නම් කොට සිටියේ උන්වහන්සේගේ ගෝල හිමි නමක් වු මාවෙලතැන්නේ සුමේධ හිමිය. මාවෙලතැන්නේ සුමේධ හිමිට එරෙහිව එල්ල කොට තිබු සියලු චෝදනා වලින් ද උන්වහන්සේ නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.
මේ සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් පැවැති අතර මෙම නඩුව මුලින්ම පවරන ලද අවස්ථාවේදී ඌවතැන්නේ සුමන හිමියන් මාවෙලතැන්නේ සුමේධ හිමියන් සමඟ කරුණා පාර්ශවයේ ආධාරකරුවන් බව කියන ජී. බාලන්, කේ. තමිල් චෙල්වන් සහ සන්දීපන් සුබ්‍රමනියම් නමැති තිදෙනෙක් ද චෝදනා ලැබ සිටියහ.
විනිසුරුවරයා එම විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කළේ එම විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයන බවට 2018 ජුනි මස 24 වැනිදා නීතීපතිවරයා කළ දැනුම් දීමක් පිළිගැනීමෙනි.
ඔවුන්ට එරෙහි නඩුව නීතීපතිවරයා ඉවත් කර ගත්තත් ඌවතැන්නේ සුමන හිමියන්ට හා මාවෙලතැන්නේ සුමේධ හිමියන්ට එම අවස්ථාව ලැබුණේ නැත.
ඌවතැන්නේ සුමන යනු 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වීදි බැස වැඩ කළ චරිතයකි. කලක් කරුණා පාර්ශ්වයට රැකවරණය දුන් උන්වහන්සේ ජාතික ගැටලුවට යුදමය විසඳුමක් වෙනුවෙන් ද පෙනීසිටියහ. එහෙත් ප්‍රශ්නගත තත්ත්වයක් හටගත්තේ එසේ අවසන් කළ යුද්ධයේ සේනාධිනායකයාට එරෙහිව 2010 ජනාධිපතිවරණයට හමුදාපති සරත් ෆොන්සේකා ඉදිරිපත් වීම සමගිනි.
සේනාධිනායකයාට එරෙහිව හමුදා නායකයාට සහාය දැක්වීමට ඌවතැන්නේ සුමන හිමි කටයුතු කළ අතර බෝම්බ ගිනි අවි චෝදනාව ආවේ ද ඒ සමගය.
කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම නාගරික වෙළෙඳුන්ගෙන් කප්පම් ගන්නා බවට චෝදනා කරමින් පොලිසි යන්නට ද වරක් සුමන හිමියෝ කටයුතු කළ අතර පසුගිය කාලයේ අනීතික මූල්‍යායතනයක මැරයන් විසින් මරා දමන ලද සුනිල් ජයවර්ධන සිටියේ ද එහිදී සුමන හිමිගේ පැත්තේය.
නව රාජපක්ෂ ආණ්ඩුව බලයට ගෙනඑන්නට විශාල වශයෙන් මැදිහත් වූ භික්ෂූන් වහන්සේලා කීප නමක්ම මේ දිනවල සිටින්නේ ආණ්ඩුවේ විධායකයේ එක් පාර්ශ්වයක් දෙසට ඇගිල්ල දිගු කරගෙනය. එහෙත් ඇතැම් විචාරකයන් නම් පවසන්නේ එහි ඇත්තේ ද්විත්ව රංගයක් හෝ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා සමනය කිරීමේ වෑයමක් බවය. කෙසේ වෙතත් එවැනි පරිසරයක ඌවතැන්නේ සුමන හිමිට ලැබෙන නිදහසේ ඇත්තේ ද කිසියම් දේශපාලන ඇඟවුමකි. එය තේරුම්ගැනීමට තව කල් මදිය.