28.4 C
Colombo
Friday, April 26, 2024

G20 කණ්ඩායමේ මීළඟ නායකත්වය මතින් බහුවිධ විරුද්ධවාදීන් අතර පාලම් ඉදිකිරීමට ඉන්දියාවට හැකිවෙයිද?

- Advertisement -

ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වුණු 17 වැනි G20 කණ්ඩායම් සමුළුව අමතමින් ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි සිය කතාව ආරම්භ කළේ යුක්රේනයේ යුද්ධය අවසන් කිරීම සඳහා සටන් විරාමයේ සහ රාජ්ය තාන්ත්රිකභාවයේ මාවත අනුගමනය කිරීමට ලෝක නායකයන් පෙළගැසීමට කාලය එළඹ ඇති බව අවධාරණය කරමිනි.

“යුක්රේනයේ සටන් විරාමය සහ රාජ්ය තාන්ත්‍රික මාවතට නැවත පැමිණීමට මගක් සෙවීම සම්බන්ධයෙන් මම පුන පුනා කීවෙමි. පසුගිය ශතවර්ෂයේ දී, දෙවන ලෝක යුද්ධය ලොව පුරා විනාශයක් සිදු කළේය. ඉන් පසුව එදා සිටි නායකයන් සාම මාවතට පිවිසීමට දැඩි උත්සාහයක නිරත විය. දැන් අපේ වාරයයි. පශ්චාත් කොවිඩ් කාලපරිච්ඡේදය සඳහා නව ලෝක අනුපිළිවෙලක් නිර්මාණය කිරීමේ වගකීම අපගේ උරහිස් මත පවතී. ලෝකයේ සාමය, සමගිය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා සංයුක්ත සහ සාමූහික අධිෂ්ඨානය පෙන්වීම යුගයේ අවශ්‍යතාවයයි.” යැයි අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඉන්දියාව තිරසාර ආහාර සුරක්ෂිතතාව සඳහා ස්වාභාවික ගොවිතැන ප්රවර්ධනය කරන ආකාරය සහ මෙනේරි වැනි පෝෂ්යදායී හා සාම්ප්රදායික ආහාර ධාන්ය නැවත ප්රචලිත කරන ආකාරය පිළිබඳව ද ඔහු සමුළුවේ සාමාජිකයින්ට දැනුම් දුන්නේය. විශේෂයෙන් ඉදිරි වසර තුළ ලෝක ආහාර අර්බුදය පිලිබඳ අවධානය යොමුකරමින් ‘අන්තර්ජාතික මෙනේරි වසර’ මහත් උනන්දුවෙන් සමරන ලෙස ඔහු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය. මෙනේරිවලට ගෝලීය මන්දපෝෂණය සහ කුසගින්න ද විසඳිය හැකි බවද ඔහු පෙන්වාදුන්නේය.

වසංගත තත්ත්වය තුළ ඇති වූ ගැටලු ගැන කතා කරමින් අගමැතිවරයා ප්‍රකාශ කළේ ඉන්දියාව සිය බිලියන 1.3ක පුරවැසියන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ඇති බවයි. ඒ අතරම, අවශ්‍ය බොහෝ රටවලට ආහාර ධාන්‍ය ද ඉන්දියාව විසින් සපයා ඇත. ආහාර සුරක්‍ෂිතතාව සම්බන්ධයෙන් වර්තමානයේ පවතින පොහොර හිඟය ද විශාල අර්බුදයක් බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය. පොහොර හිඟය “හෙට ආහාර අර්බුදය” බවත් ලෝකයට ඊට විසඳුමක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. සියලුම G20 රටවල් පොහොර සහ ආහාර වෙනුවෙන් ධාන්‍ය සැපයුම්දාමය ස්ථාවර සහ සහතික කර පවත්වාගෙන යෑම සඳහා අන්‍යෝන්‍ය එකඟතාවක් ගොඩනගා ගත යුතු බව අගමැති මෝදි පැවසීය.

අගමැති මෝදි තවදුරටත් පෙන්වාදුන් ආකාරයට දේශගුණික විපර්යාසය, කෝවිඩ් වසංගතය සහ යුක්රේනයේ වර්ධනයන් ලෝකය තුළ විනාශයක් නිර්මාණය කර ඇත.
“ගෝලීය සැපයුම් දාම විනාශ වී ඇත. මුළු ලෝකයේම අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය සහ භාණ්ඩ සැපයීමේ අර්බුදයක් නිර්මාණය වී ඇත. සෑම රටකම දුප්පත් පුරවැසියන්ට අභියෝගය වඩාත් බරපතලවී තිබේ. එදිනෙදා ජීවිතය දැනටමත් ඔවුන්ට අරගලයක් වී ඇත. මෙම ද්විත්ව ප්‍රශ්න සමඟ කටයුතු කිරීමට ඔවුන්ට මූල්‍යමය හැකියාවක් නොමැත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බහුපාර්ශ්වික ආයතන මෙම ගැටළු සම්බන්ධයෙන් අසාර්ථක වී ඇති බව පිළිගැනීමට අප පසුබට නොවිය යුතුය. එමෙන්ම එම ජනතාව වෙනුවෙන් සුදුසු ප්‍රතිසංස්කරණ ඇති කිරීමට අපි සියලු දෙනාම අසමත් වී තිබේ. එබැවින්, අද ලෝකය G-20 වෙතින් වැඩි බලාපොරොත්තු තබා ඇති අතර, අපගේ කණ්ඩායමේ අදාළත්වය වඩාත් වැදගත් වී ඇත” යැයි ඔහු පෙන්වා දුන්නේය.
සිය කතාව අවසන් කරමින්අගමැතිවරයා සඳහන් කරන ලද්දේ, ගෝලීය වර්ධනයට ඉන්දියාවේ බලශක්ති සුරක්ෂිතතාව ද වැදගත් වන ආකාරය පිලිබඳවය.

“බලශක්ති සැපයුම සම්බන්ධයෙන් සිදුකෙරෙන සීමා කිරීම් අපි කිසිම ආකාරයකදිරිමත් නොකළ යුතුයි. බලශක්ති වෙළඳපොලේ ස්ථාවරත්වය සහතික කිරීම අතිශය වැදගත් වේ. ඉන්දියාව පිරිසිදු බලශක්තිය සහ පරිසරය වෙනුවෙන් කැපවී සිටී. 2030 වන විට අපගේ විදුලියෙන් අඩක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිපදවනු ඇත” ඔහු පැවසීය.
මෙවර පැවැත්වුණු 17 වන G20 කණ්ඩායම් සමුළුව සඳහා, ඉන්දියාවට අමතරව එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් ඇතුළු ලොව පුරා නායකයින් ඉන්දුනීසියාවට රැස්වී සිටියහ. එම දෙදින සමුළුව තුළ ගෝලීය ආර්ථික ප්‍රකෘතිය, ගෝලීය සෞඛ්‍ය ආරක්ෂණය, ඩිජිටල් පරිවර්තනය, තිරසාර බලශක්ති සංක්‍රාන්තිය සහ දේශගුණික විපර්යාස වැනි මාතෘකා කෙරෙහි අවධානය යොමු කෙරුණු අතර, “එකට ප්‍රකෘතිමත් වන්න, ශක්තිමත්ව ප්‍රතිසාධනය කරන්න” යන්න මෙවර සමුළුවේ තේමාව විය. 2020 වසරේදී සෞදි අරාබිය සමුළුවේ මුලසුන දැරූ අතර, 2021දී එම වගකීම ඉතාලියට පැවරිණි. එම දෙවරම කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සමුළුව පැවැත්වුණේ අන්තර්ජාලය ඔස්සේ අථත්‍ය සම්බන්ධීකරණයක් ලෙසිනි.

ඒ අනුව වසර 03කට පසුව මෙවර නායකයන් සියල්ල භෞතිකව හමුවීම ගෝලීය අවශ්‍යතාවට අනුව අතිශය තීරණාත්මක වේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් පසුගිය සඳුදා දේශගුණික විපර්යාස වැනි ගෝලීය ගැටළු විසඳීම සඳහා ගෝලීය සහයෝගීතාව ඉල්ලා සිටින්නේ, G20 සමුළුව පසුදා ආරම්භ කිරීමේ වැදගත්කම අවධාරණය කරමිනි.

එහිදී, අනාගතයේ බිහිකරගත හැකි ‘දේශගුණික සහයෝගීතා ගිවිසුමක්’ පැරිස් ගිවිසුමේ දක්වා ඇති අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් වන බව පැවසූ ගුටරේස්, දේශගුණික විපර්යාස “අපගේ කාලයේ අභියෝගය” ලෙස හඳුන්වා දුන්නේය. එවැනි ගිවිසුමක් G20 නායකයන්ගේ එකඟතාවකින් පහසුවෙන් සකස්කර ගත හැකි වවද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ අතර, ගෝලීය වර්ධනය, ආහාර සහ බලශක්ති සුරක්ෂිතභාවය, පරිසරය, සෞඛ්‍යය සහ ඩිජිටල් පරිවර්තනය වැනි වැදගත් ගෝලීය අවශ්‍යතා පිළිබඳව G20 සමුළුවට සහභාගිවන අනෙකුත් ආගන්තුක රටවල නායකයන් සමඟද ගැඹුරින් සාකච්ඡා කරන බව අගමැති මෝදි සිය සමුළුව අවසන් කරමින් පැවැත්වූ ප්‍රකාශයේ සඳහන් කරන ලදී.
“ජී 20 සමුළුවට සමගාමීව, සහභාගී වන තවත් රටවල් කිහිපයක නායකයන් හමුවී ඔවුන් සමඟ ඉන්දියාවේ ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය මම සමාලෝචනය කරමි” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්දීය අගමැතිවරයා මෙලෙස පශ්චාත සමුළු කාලසිමාවේදීද, අවශේෂ කරුණු සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමුකරන ලද්දේ 2022 දෙසැම්බර් 01වැනිදා සිට සිට කර මතට G20 සභාපතිත්වයේ වගකීම පැවරෙන බැවිනි. බාලිහි පැවැත්වුණු සමුළුව අතරතුර එම තනතුරු හුවමාරුව සිදුවිය.

G20 යනු ජාත්‍යන්තර ආර්ථික සහයෝගීතාව සඳහා වැදගත්ම සංසදයයි. සියලුම ප්‍රධාන ජාත්‍යන්තර ආර්ථික හා සංවර්ධන ගැටළු සම්බන්ධයෙන් ගෝලීය පාලනය හැඩගැස්වීම සහ ශක්තිමත් කිරීම සඳහා එය අතිශය තීරණාත්මක වේ.ඒ අනුව ඉන්දියාවට ගෝලීය සාමය වෙනුවෙන් අපේක්ෂිත මැදිහත්වීම මීළඟ නායකත්ව කාලසිමාව ඇතුලත ඉටුකිරීමේ අත්‍යන්ත වගකීම නෛසර්ගිකව පැවරී ඇත. දැනටමත් ප්‍රංශය සහා ජර්මනිය වැනි ලෝක බලවතුන්ගෙන් සෘජුවම ඉන්දියාවට ඉල්ලීම් ඉදිරිපත්ව ඇත්තේ විශේෂයෙන් යුරෝපය අඳුරේ ගිල්වන රුසියානු-යුක්රේන අර්බුදය සමනය කිරීම වෙනුවෙන් මැදිහත්කරුවකු ලෙස ඉදිරිපත්වන ලෙසයි. එක්සත් ජනපදයද එම මතයම දරන බව පසුගිය සතියේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඉඟිකර තිබිණි.

ඊට සමගාමිව ඉන්දියාව විසින් රුසියාව හා බටහිර සමග සිය සබඳතා දක්ෂ ලෙස සමතුලිත කරන විට, අගමැති මෝදි අන්තර්ජාතික බල තැරැව්කරුවකු ලෙස ඉන්දියාව ලෝකයේ විශ්වසනියත්වට පත්කරන අතරම, සෑම පාර්ශ්වයකම සහයෝගය දිනා ගනිමින් සෑම පසෙකින්ම ආචාර කළ හැකි නායකයෙකු ලෙස මතුවෙමින් සිටින බව මේ වන විටත් විශ්ලේෂකයන් පෙන්වාදී ඇත. ඉන්දියාවේ මෙම නැගීසිටීම ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි අන්තර්ජාතික සබඳතා පිළිබඳ මහාචාර්ය හර්ෂ් වී. පැන්ට්ගේ හඳුනාගැනීමට අනුව මෙසේ පැහැදිලි කළ හැකිය.

“ඉන්දියාව යනු බහුවිධ විරුද්ධවාදීන් අතර පාලම් ඉදිකිරීමට හැකියාව පවතින නායකත්ව ගුණයෙන් යුතු රාජ්‍යයකි.”

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...