29 C
Colombo
Thursday, April 18, 2024

දලයිලාමාගේ සංචාරයකින් ලංකාවට වැඩක් වෙයිද ?

- Advertisement -

“ බෞද්ධයෙක් වීමට උත්සාහ නොකරන්න. මේ ලෝකයට බෞද්ධයන්ගේ හිඟයක් නැත. කරුණාවන්ත වීමට නිතරම උත්සාහ කරන්න. මන්ද ලෝකයට කරුණාව යන ගුණාංගය ඉතාම අවශ්‍යවේ.”

මේ ලොව ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික නායකයකු ලෙස සැලකෙන දලයි ලාමාතුමන්ගේ වචන ය. දලයි ලාමා යනු ටිබෙටයේ නිර්මාණයක් වුවද, අද වන විට ලෝකයෙන් බහුතර ප්‍රජාවක් එතුමන්ගේ ඉගැන්වීම් සහ ජිවන දර්ශනය පිළිගන්නා තැනට පැමිණ තිබේ. ඊට හේතුව දලයි ලාමාතුමන් නිරන්තරයෙන් දේශනා කරන සහ තමන් විසින්ම ප්‍රදර්ශනය කරන අවිහිංසාවාදී ජිවන පිළිවෙතයි.
“ මිනිසත් අපේ අරමුණ විය යුත්තේ අන්‍යයන්ට උදව් කිරීමයි. එසේ කළ නොහැකි නම් අපට කළ හැකි අවමය වන්නේ ඔවුන්ට හිංසා නොකිරීමයි. “
එතුමන්ගේ මෙම කියමන ඔස්සේ එම අවිහිංසාවාදී පිළිවෙත තවදුරටත් තහවුරු වන බව දැකගත හැකිය.

ටිබෙටය යනු පෙරකී ලෙස දලයි ලාමාතුමන්ගේ රටයි. එය එක් අතකින් පාප් වහන්සේගේ වතිකානය හා සමානවේ. දලයි ලාමා හිමියන් විසින් පත් කළ අගමැති සහ ඇමති මණ්ඩලයක් මගින් චීන ආක්‍රමණවලට පෙර ටිබෙටය පාලනය විය. කෙසේ වෙතත් 1959දි තමන්ගේ රට අතහැර යෑමට(චීන බලපෑම් හේතුවෙන්) සිදු වුණ මේ අසාමාන්‍ය මනුෂ්‍යත්වයක් හිමි දලයි ලාමාවරයා, 2011 වසරේ මාර්තුවේදී ටිබෙටයේ දේශපාලන නායකත්වයෙන් ඉවත් වීමටද තීරණය කරනු ලැබීය. එසේම ටිබෙට් බුදු දහමේ සංස්කෘතිය තමන්ගේ මරණයත් සමඟම අවසන් විය යුතු බවටද උන්වහන්සේ යෝජනා කර තිබේ. එම යෝජනාව ඉතාම වේදනාවෙන් කරන ලද එකක් වන අතර, අනාගතයේ අනිවාර්යයෙන්ම චීන බලපෑම් හේතුවෙන් ටිබෙටයේ අනන්‍ය බෞද්ධ සංස්කෘතික ලක්ෂණ වඳවී යන බව උන්වහන්සේ අවබෝධ කරගෙන සිටී. ටිබෙට් වැසියන් ලෝකයේ කොතැනක සිටියත් දලයි ලාමාවරයෙක් උපත ලබන්නේ ටිබෙටයේමය. මේ නිසා චීන ග්‍රහණයේ පවතින ටිබෙට් රාජ්‍යයක පැරණි චාරිත්‍ර අනුව නිවැරදි දලයි ලාමාවරයෙක් පත් වෙතැයි සිතිය නොහැකිය. මේ හේතුවෙන් අනාගතයේදී චීනය අතින් විකෘති විය හැකි ටිබෙට් දර්ශනය තමා සමඟම අවසන් වීම දැකීම තම අදහස බව උන්වහන්සේ පවසති.

තනි පුද්ගලයකු ලෙස දැවැන්ත චීනයේ දරදඬු පාලනයකට එරෙහිව අවිහිංසාවෙන් සටන් කරන බැවින්ම ලෝක ප්‍රජාවගේ ගෞරාදරයට පත් මෙම අධ්‍යාත්මික නායකයා අවසන් වරට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට උත්සාහයක නිරත වන ලද්දේ මීට වසර 07කට පමණ පෙරය. එනම් 2015 වසරේදීය. දලයි ලාමාතුමාට ශ්‍රී ලංකාවේ වන්දනාවක නිරත වීම සඳහා අවසර දෙන මෙන් ආණ්ඩුවට ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ ගැන සලකා බැලිය හැකි යැයි එවකට විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයාව සිටි අජිත් පී.පෙරේරා සඳහන් කර තිබෙනු මතකයේ ඇත. නියෝජ්‍ය ඇමතිවරයා එවැනි ප්‍රකාශයක් ජනමාධ්‍ය වෙත සිදුකර තිබුණේ මෙරට නායක හිමිවරුන් රැසක් විසින්ම දලයි ලාමාතුමන්ව මෙරටට ගෙන්වාගැනීම වෙනුවන් ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණු බැවිනි.

‘‘නිල දැනුම් දීමක් කෙරුනොත් රජයක් විධියට අදාළ සියලු කරුණු සලකා බලා සුදුසු තීරණයක් ගන්නවා. දැනට එම ප්‍රශ්නය මතු වෙන්නේ නැහැ. හේතුව එවැනි ඉල්ලීමක් කරනු ලැබ නොමැති නිසා’’ යැයි නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් BBC පුවත් සේවයට පවසා තිබිණි. කෙසේවෙතත් ඒ වන විටත් නිර්මාණය වී තිබුණු කතාබහට හේතුවෙන්ම, දලයි ලාමාතුමන්ගේ සංචාරයකට පවතින හැකියාව පිලිබදව සොයා බැලූ විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ, විශාල ඉල්ලීමක් ලැබුණද, ආණ්ඩුව දලයි ලාමාතුමාටට වීසා ලබානොදීමට ඉඩකඩ ඇති බවයි. ‘දලයි ලාමාතුමා ඉතාම වැදගත් චරිතයක් වන නමුත් චීනයත් සමඟ ශ්‍රී ලංකාව පවත්වන සබඳතා වඩාත් වැදගත් යැයි සලකා ආණ්ඩුව එම තීරණයට එළඹෙනු ඇති බව එම ජනමාධ්‍ය වාර්තා වල සඳහන් විය. අවසානයේ ජනමාධ්‍ය විසින් පළකර තිබූ එම අනාවැකි සත්‍ය විය. දලයි ලාමාතුමන්ට මෙරටට පැමිණෙන ලෙස නිල ආරාධනාවක් හෝ විසා ලබාදීමක් පිළිබඳව එතැනින් ඔබ්බට කතාබහට ගැනුණේ නැත. ඒ පිටුපස සිටියේ චීනය බව රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ගනුදෙනු මෙහෙයවන්නන්ට රහසක් වූයේ නැත.

කෙසේවෙතත් දැන් නැවතත් දලයි ලාමාතුමා ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය වී තිබේ. ඊට හේතුව වන්නේ පසුගියදා ඉන්දියාවේ සංචාරය කරන ලද මෙරට ඉහළපෙලේ බෞද්ධ දූත පිරිසක් විසින් එතුමන්ගෙන් ඒ සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීමකි. සිය ජනතාව වෙනුවෙන්, චීන බලාධිකාරියට එරෙහිව ස්වයංව පිටුවහල්ව සිටින දලයි ලාමාතුමා, මේ දිනවල වැඩවාසය කරන්නේ ඉන්දියාවේ බුද්ධගයාවේය. පසුගිය සතියේ, එනම් දෙසැම්බර් 27වැනිදා ශ්‍රී ලංකාවේ ඉහල පෙළේ බෞද්ධ දූත පිරිසක් බුද්ධගයාවේ සංචාරය කරනු ලැබුහ. එම දූත පිරිසට ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහානායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානායක හිමියෝ සහ අස්ගිරි පාර්ශවය නියෝජනය කරමින් අතිපූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියෝ ඇතුළු නායක භික්ෂුන් වහන්සේ පිරිසක් එක්ව සිටියහ. මෙම ශ්‍රී ලාංකික බෞද්ධ දූත පිරිස බුද්ධගයාවේදී දලයි ලාමාතුමන්වද හමුවූහ. ශ්‍රී ලංකාවට පැමිණ සිය ශාසනික සේවාව මෙරටද තවදුරටත් ව්‍යාප්ත කරන ලෙස ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ එතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ එම හමුවේදීය.

මෙම ශ්‍රී ලාංකික දූත පිරිස දලයි ලාමාතුමන්ගෙන් එම ඉල්ලීම කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ හුදු වන්දනාවකට එක්වන ලෙසට කරන ආරාධනයක් ලෙසින් පමණක් නොවේ. එය පුර්ණ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කෙරෙන සංචාරයක් ලෙස සඳහන් නොකෙරුණද, ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණදී සිටින බරපතල ආර්ථික අර්බුදයට විසඳුමක කොටසක් ලෙසද දලයි ලාමා වැනි නායකයකු මෙරට සංචාරය කිරීම වැදගත් බව මෙම දූත පිරිස පෙන්වාදී ඇත. දලයි ලාමාතුමන් සමග බුද්ධගයාවේදී පැවැති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මාහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහානායක හිමියෝ ඉන්දියාවේ ANI පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදී ඇත. දලයි ලාමාතුමා වැනි විශිෂ්ඨ නායකයකු ශ්‍රී ලංකාවට පැමිණීම තුලින් තම රට මේ වන විට මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීමට උපකාර වන බවද වස්කඩුවේ හිමියෝ ANI පුවත් සේවය සමග පවසා තිබේ.

“මම විශ්වාස කරනවා, උන්වහන්සේ බුද්ධගයාවට පැමිණි ආකාරයෙන්, උන්වහන්සේ ශ්‍රී ලංකාවටත් පැමිණියොත්, ඒ අනුව යමින් ශ්‍රී ලංකාවට සංචාරකයන් දහස් ගණනින් පැමිණෙනු ඇති. එමඟින් ආර්ථිකයට ලැබෙන සහාය ඉමහත් බව කිවයුතුයි. එමගින් අපට ආශීර්වාද ලැබෙන අතර ආර්ථිකයට ද ශක්තියක් වනු නොඅනුමානයි.”
වස්කඩුවේ මහින්දවංශ මහානායක හිමියන් එහිදී අදහස් කර ඇත්තේ දලයි ලාමාතුමන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් උන්වහන්සේ අනුව යමින් ලොව පුරා බෞද්ධ සංචාරකයන්ද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙළඹෙනු ඇති බවයි. ඇත්තෙන්ම වස්කඩුවේ මහින්දවංශ මහානායක හිමියන්ගේ එම ප්‍රකාශයේ අසත්‍යයක් නැත. ඊට හේතුව දලයි ලාමාතුමන් බුධාගයාවේ වැඩවාසය කරන ආරංචිය නිසාම මේ දිනවල විශාල බොදු බැතිමතුන් පිරිසක් බුද්ධගයාවට පැමිණ සිටීමයි.

“උන්වහන්සේ (දලයි ලාමාතුමා) ඉන්දියාවට පැමිණ සිටිනවා. උන්වහන්සේ ඉන්දියාවට පැමිණියේ ඇයිද යන්න ජනතාව දැනගත යුතුයි. උන්වහන්සේ ඉන්දියාවේ පදිංචි වූයේ ඇයි? ඉන්දියාව උන්වහන්සේ ආරක්ෂා කරගැනීමට උපකාර කළා. දැන් උන්වහන්සේ නිසාම සංචාරකයින් දහස් ගණනක් බුද්ධගයාවට පැමිණෙමින් සිටින බව අපි දකිම්න් සිටිනවා. මේ දිනවල බුද්ධගයාව ඉතා සීතල බැවින් සාමාන්‍යයෙන් මිනිසුන් මෙහි පැමිණෙන්නේ නැහැ. නමුත් මිනිසුන් මෙහි පැමිණෙමින් සිටින්නේ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය නිසා.” යැයි වස්කඩුවේ හිමියන් පෙන්වා දෙන්නේ ඒ අනුවය.

කෙසේහෝවේවා මේ මොහොතේ දලයි ලාමාතුමන් වැනි විශිෂ්ඨ ගණයේ ආධ්‍යාත්මික නායකයකු මෙරටට පැමිණියහොත් එය ශ්‍රී ලංකාව කිහිප අතකින්ම ලබන ජයග්‍රහණයක් වන්නේය. ඒ අතරින් ප්‍රධානම ජයග්‍රහණය වන්නේ, දේශපාලන අර්බුද නිසා ලෝකය විසින් බරපතල කනස්සල්ලක් පළකර ඇති ශ්‍රී ලංකාව කෙරෙහි මිලියන 400කට අධික සමස්ත ලෝක බෞද්ධ ජනත්වගේම අවධානය යොමුවන බැවිනි. අනෙක් අතට දලයි ලාමාතුමන්ට මේ මොහොතේ රැකවරණය ලබාදෙනු ලබන්නේ ඉන්දියාව විසිනි. ඒ අනුව දලයි ලාමාතුමා පිළිගනිම යනු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවලටද විශාල උද්දිපනයකි. කෙසේනමුත් උන්වහන්සේ මෙරටට පැමිණීම වලක්වාලීම සඳහා ක්‍රියාත්මක බලවේගයන්ද පවතින බව මෙහිදී සිහිපත් කළ යුතුය. එම බලවේග ඒ ආකාරයෙන්ම 2015දීද ක්‍රියාත්මක විය. එමනිසා දලයි ලාමාතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරයක වැදගත්කම කුමක්ද යන්න මෙරට බෞද්ධ ප්‍රජාව විසින් පාලක ආණ්ඩුවට අවධාරණය කරවීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුව ඇත.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...