ජාතික ජන බලවේගය පැවසූ පරිදි උගන්ඩාවේ සඟවපු මුදල් මෙරටට ගෙන්වීමට කාලය එළැඹ ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා X පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.
ඔහු එම පණිවුඩයේ සඳහන් කර ඇත්තේ උගන්ඩා, සිෂෙල්, ලෝස් ඇන්ජලිස් රට පුජා මහජනතාවගේ ධනය කොල්ල කෑ දේ යළි ගෙන්වීමට හැකි වන්නේ අදූශිත දේශපාලන බලවේගයට පමණක් යැයි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයේදී මාධ්‍ය වෙත කල අදහස් දැක්වීමක වීඩියෝවක් සහිතවයි.
“අපෙන් හොරකම් කරපු සල්ලි තියෙනවා උගන්ඩාවේ, අපිට ඒව්වා ගන්න ඕන නැද්ද?” යන්න නීතීඥ නිලන්ති කොට්ටච්චිද මාධ්‍ය වෙත අදහස් දැක්වූ විඩියෝවක්ද එහි ඇතුලත් වී තිබෙනවා.
ඔහු එම X පණිවුඩයෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, උගන්ඩාවේ සහ විවිධ රටවල ඩොලර් බිලියන ගණනක් සන්තකයේ තබා ඇති බව ජනාධිපති අනුර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම වසර ගණනාවක් තිස්සේ චෝදනා කරමින් සිටි බවත්, ජනාධිපතිවරයාට එම චෝදනා ඔප්පු කිරීමට දැන් කාලය පැමිණ තිබෙන බවයි.