25 C
Colombo
Friday, March 29, 2024

විරෝධයකට හෝන් ගැසීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතිකවූ මුලික අයිතියකි – කුසල් පෙරේරා

- Advertisement -

විරෝධයකට හෝන් ගැසීම පිළිබදව ප්‍රවීන මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා News19 වෙබ් අඩවියට ලියූ විශේෂාංග ලිපියක්..


පසුගිය අප්‍රේල් 27 වන දින චීන විදේශ ඇමති ජෙනරාල් වෙයි ෆෙංහෙ ලංකාවට පැමිණියේය. ඔහුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට කොළඹට රැගෙන ආ රථ පෙළට බාධාවකින් තොරව යාමට ඉඩ දීම සඳහා පොලීසිය විසින් පාර වසා අනෙක් වාහන බොරැල්ලේදී කල් තියා නවතා තැබීය. එයට විරෝධය දක්වමින් නවතා තැබුණු රථවාහන සමූහයක නලා දිගින් දිගටම ශබ්ද කරන විඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල බෙදා ගනු ලැබිණ.

ශබ්ද දූෂණය හා මහජන හිරිහැරයක් (Public Nuisance) වන ලෙස පෞද්ගලික මගී බස්රථවල “අලි එළවන” ආකාරයේ යෝධ නලා දිගින් දිගටම නාද කිරීම හා ප්‍රධාන නගරවල ලොතරැයි අලෙවි කුටිවල ශබ්ද විකාශනය නීතිමය වශයෙන් තහනම් කළ හැකිය. එහෙත් වාහනවල නලා මහජන හිරිහැරයක් ලෙස තේරුමක් නැතිව ශබ්ද කිරීමට එරෙහිව පොලීසිය කිසි තැනක නීතිය ක්‍රියාත්මක කළ බවක් අසන්නට නැත.

කෙසේ නමුත් බොරැල්ලේ සාමුහිකව වාහන නලා ශබ්ද කිරීමේ විරෝධයට මුලපිරූ තැනැත්තා ලෙස හඳුනාගනු ලැබූ තරුණයෙකු අප්‍රේල් 29 වන දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ප්‍රකාශක එදින මාධ්‍යයට කියා තිබිණ. පසුදින ඔහුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව, තමන් අත වරදක් ඇතැයි ඔහු පිළිගන්නා ලද හෙයින් මහේස්ත්‍රාත්වරයා විසින් දැඩිව අවවාද කර ඇප ලබා දුන් බව මාධ්‍ය වාර්තා පළ විය.

මහ මග සාමුහිකව වාහන නලා ශබ්ද කිරීම ගැන අගමැති මහින්ද රාජපක්ෂට ඇත්තේ නීතියට එහා යන දේශපාලන විග්‍රහයකි. එය මෙවැනිය. මහජනතාවට හිරිහැරයක් වන ආකාරයේ පාරවල් වැසීම අත්හිටුවන ලෙස 2019 මැයි මස ජනාධිපති සිරිසේන විසින් නියෝග කෙරුවේ, “ප්‍රභූ” ගමන් සඳහා පාරවල් වැසීමට විරුද්ධව සාමුහිකව වාහන නලා ශබ්ද කිරීමේ විඩියෝවක් එදා සමාජ මාධ්‍ය ජාලවල සීඝ්‍රයෙන් බෙදා ගනු ලැබූ විටය. 2019 මැයි 24 වන දින “ඩේලි එෆ්ටී” පුවත් පතේ වාර්තාවකට අනුව එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිය පාක්ෂික රැස්වීමක එම විරෝධය රැගත් විඩියෝ පටය ගැන කියා තිබුණේ “ප්‍රභූ ගමන් සඳහා පාරවල් වැසීමට විරුද්ධව මිනිසුන් සාමුහිකව වාහන නලා ශබ්ද කරන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට ඇති විරෝධය දැක්වීමට” බවය. ඔහුට අනුව එය හුදෙක් “ප්‍රභූ ගමන් සඳහා” පාරවල් වැසීමටම දැක්වූ විරෝධයක් නොවේ. එය ජනතාව සාමුහිකව සිය “ආණ්ඩු විරෝධය” ප්‍රකාශ කිරීමකි.

ඔහු කියූ ඒ විරෝධය ඒ ආකාරයට 1992 ජුලි 01 වන දින පළමු වරට රට පුරා එකම වෙලාවට සංවිධානාත්මකව දියත් කිරීමට නායකත්වය ගනු ලැබුවේද ඔහුය. එවක මහින්ද රාජපක්ෂ විපක්ෂයේ වඩාත්ම සටහන්කාමී මන්ත්‍රීවරයා ලෙස “කතරගම පාදයාත්‍රාව” අවසානයේ ඉස්මතුව සිටියෙකි.

ඒ විරෝධයට කෙටි ඉතිහාසයක් ඇත. පාදයාත්‍රාවට පසු ජනතා විරෝධය ඉන් එහාට ගොනු කරන්නේ කෙසේදැයි කියා පාදයාත්‍රාව සංවිධානය කරන අතරතුරම මා කල්පනා කෙරුවකි. ඒ කාලයේ 1979 සැන්දිනිස්තා විප්ලවය ගැන මගේ තිබූ උනන්දුව නිසා සුනිලා (අබේසේකර) කෙටි විදේස ගමනකට පසු නැවත පැමිණෙන විට නිකරගුවානු විප්ලවයට දායක වූ ප්‍රධාන පෙළ කැරළිකාරියන්ගේ ස්වයංප්‍රකාශ රැගත් මාගරට් රැන්ඩෝල් ගේ Sandino’s Daughters (සැන්දිනෝගේ දියණියෝ) නම් කෘතිය මට ගෙනැවිත් දුන්නාය. එහි මා කියවූ ඔවුන්ගේ එක නිර්මාණාත්මක විරෝධයක් දැඩිව සිත් ගත්තකි. එය අතිශය දූෂිත, දැඩි මර්දනකාරී සොමෝසා පාලනයට එරෙහිව සැන්දිනිස්තා කාන්තා ව්‍යාපාරය සංවිධානය කළ අතිශය සාර්ථක විරෝධයකි. ඔවුන් විසින් බඩු මිල ඉහළ යාමටත් පාරිභෝගික භාණ්ඩ මත අධික බදු පැටවීමටත් විරුද්ධව “අපේ දරුවෝ බඩගින්නේ” යැයි විරෝධයක් නිකරගුවාවේ අගනුවර වන මැනගුආ හි සංවිධානය කළහ. බෙලෙක් පිඟන්, ඇලුමීනියම් වළං, තාච්චි, රැගෙන විත් හැකි තරම් කඨෝර විදියට ශබ්ද නැගෙන ලෙස ඒවා එකිනෙකට ගැසීම ඒ සරළ විරෝධය විය. එහෙත් එහි සටන්කාමිත්වය මගින් උත්තේජනය වූ මග ගිය වාහනකරුවන් වාහන මග නවතා මේ කාන්තාවන්ට සහාය පලකිරීම සඳහා වාහන නලා හඬවන්නට වූහ.

මෙය අපට ගැලපෙන ලෙස සංවිධානය කිරීමේ කෑදර කමක් මට තිබිණ. පාදයාත්‍රාවෙන් පසු රට පුරා ජනතාව නැවත එක තැනක පොදු විරෝධයකට එකතු කිරීම අපහසු බවත් මම දැන සිටියෙමි. පාදයාත්‍රාව කතරගමට යන අතරතුර තංගල්ලේ  නතර වූ දින රාත්‍රියේ අප කිහිප දෙනෙකු මහින්දගේ කාල්ටන් නිවසේ සප්පායම් වීමු. ඒ අතර, “කුසල්, පාදයාත්‍රාවෙන් පස්සේ මොකද්ද?……කතරගමින් සේරම ඉවරයිද?” යැයි වාසු සහෝදරයා මගෙන් ඇසුවේය. එහි සිටි අනුර බණ්ඩාරනායකද “මාත් අහන්න හිටියේ” යැයි එවිට කීවේය.

නිකරගුවානු කාන්තා විරෝධය අපට ගලපා ගත හැකි ආකාරයෙන් මම ඔවුන්ට විස්තර කළෙමි. පන්සල්, පල්ලි, කෝවිල් වල ඝාණ්ඨාර ගැසීම, බෙර හා රබන් ගැසීම සහ සහායට පාරේ වාහනවල නලා ශබ්ද කිරීම රට පුරා හැම ප්‍රධාන නගරයකම එකවර කෙරෙන ලෙස සංවිධානය කළ හැකි යැයි මම කීවෙමි. “ඔය තියෙන්නේ බඩු……වැලිමඩ අපි බලා ගන්නම්” යැයි එවිටම එස්.ඒ.ආර් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා කීවේය. අනුරට වැදගත් වූයේ එයට දෙන නම ය. දොඩම්ගොඩ මන්ත්‍රීවරයා කීවේ “ශබ්ද පූජාව” කියා ය. එහෙත් එයට මගේ එතරම් කැමැත්තක් නොවුනි. “පූජාව” යැයි කියූ විට ඇති වන්නේ බොහෝ ශාන්ත, විනීත කාර්යක් යන හැඟීමක් යැයි සිතින. අවශ්‍ය වූයේ ජනතාව හවුල් වන්නාවූ සටන්කාමී මැදිහත්වීමකට තේමා නාමයකි. “ජන ඝෝෂාව” යැයි නම තැබුවේ පාදයාත්‍රාව අවසන්වී කොළඹ පැමිණි පසුව ය.

ඒ වනවිට බණ්ඩාරනායක මැතිනියගේ එකඟත්වය ඇතිව චන්ද්‍රිකා ශ්‍රී.ල.නි.පය නිල වශයෙන් නියෝජනය කිරීමටත් මංගල හා එස්.බී දෙපළ සමග සමසමාජ හා කාමියුනිස්ට් පක්ෂ හවුල් වූ “පොදුජන එක්සත් පෙරමුණ” යැයි ඊළග මැතිවරණ පෙරමුණ හැදීමේ සාකච්ඡා වලත් නිරතව සිටියහ. “ජන ඝෝෂාව” සාර්ථක වනවාට චන්ද්‍රිකා, මංගල, එස්.බී කණ්ඩායම සමග සමසමාජ හා කොමියුනිස්ට් නායකයින් යූ.ඇන්.පියටත් වඩා අකමැති වූහ. පාදයාත්‍රාව මෙන් “ජන ඝෝෂාවද” සාර්ථක වුවහොත් එය මහින්ද පමණක් නොව, අනුරවද මග හැරිය නොහැකි තත්ත්වයට ඔසවන දේශපාලන පිබිදීමක් වනු ඇතැයි ඔවුන් සිතූහ.  

එබැවින් යූ.ඇන්.පිය පැරදවීමට නම් වමේ අලුත් පෙරමුණක් හැදීම අත්‍යාවශ්‍ය යැයිද, එය කළ හැක්කේ චන්ද්‍රිකාගේ නායකත්වයෙන් යැයිද චන්ද්‍රිකා කණ්ඩායම කියන්නට වූහ. ඉතිහාසයේ හැම විටම යූ.ඇන්.පිය පරාජය කර ඇත්තේ වමේ සහාය ඇතිව යැයිද ඔවුහු ශ්‍රී.ල.නි.ප ප්‍රාදේශීය ක්‍රියාකාරීන් අතර මතයක් හැදීමේ උත්සාහයක් ගත්හ. ඉදිරියේ එන පළාත් සභා මැතිවරණයේදී යූ.ඇන්.පිය පැරදිවීමට නම් තරග කළ යුත්තේ සමසමාජ කොමියුනිස්ට් පක්ෂ ඇතුළත් පෙරමුණකින් යැයිද ඔවුහු තර්ක කළහ. ඒ සමග පාදයාත්‍රාවට සෘජුව හවුල් වූ ඇතැමුන් පළාත් සභා මැතිවරණයට ශ්‍රී.ල.නි.ප නාමයෝජනා බලාපොරොත්තුවෙන් “ජන ඝෝෂාව” සංවිධාන කටයුතු වලින් දුරස්ථ වූහ. එහෙත් ඔවුන්ට පහළ සාමාන්‍ය ශ්‍රී.ල.නි.ප ඡන්දදායකයින් “යූ.ඇන්.පී විරෝධීන්” ලෙස “මහින්දගේ ජන ඝෝෂාවට” හවුල්වන බැව් දකින්නට තිබුණි. 

පාදයාත්‍රාව සංවිධානයට මෙන් “ජන ඝෝෂාව” සංවිධානය සඳහා අපි රට පුරා නොගියෙමු. මැතිවරණ පෙරමුණු ගැන බලාපොරොත්තු තිබියදී මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකවරුන් සමග මහින්ද විටින් විට සංවිධාන කටයුතු ගැන කතා කළේය. ඔහු හා සම්බන්ධ නීතිඥයින්ටද මහින්ද පණිවිඩය දුන්නේය. වෘත්තීය සමිති හා ප්‍රාදේශීය යූ.ඇන්.පි විරෝධී සමාජ ක්‍රියාකාරීන් සම්බන්ධකර ගැනීමට බරක් තැබීය. ඒ සඳහා පාදයාත්‍රාවේ සාර්ථකත්වය “ජන ඝෝෂාවට” විශාල පිටුබලයක් විය. පාදයාත්‍රාවට තරම්ම නොවුනත් මාධ්‍යයෙන්ද ප්‍රචාරක සහායක් ලැබිණ.

රට පුරා විසිරුණු විරෝධයක් වූවත් “ජන ඝෝෂාව” සාර්ථක වන්නේ කොළඹ සහභාගිත්වය හා ගෝසාව අනුව යැයි මගේ ගණන් හැදීම විය. එනිසා ලිප්ටන් වටරවුමේ “ජන ඝෝෂාව” සාර්ථක කර ගැනීමට කොළඹ හා අවට පිරිස් ගෙන්වා ගැනීම සඳහා අපි මහන්සි වීමු. “ජන ඝෝෂාව” ආරම්භ කෙරෙන වෙලාව දහවල් 12 ට යැයි මා කියුවට, මහින්ද හැම තැනකදීම කියුවේ දහවල් 12.13 ට කියා ය. “අපේ මිනිසුන්ට නැකතකට වගේ වෙලාව කියුවම තමයි හරි යන්නෙ” ඔහු මට කීවේය. මෙය පැය භාගයක විරෝධයක් යැයි අප කියුවේ පැයකට වඩා මෙවැනි ගෝසාකාරී විරෝධයක් ඇදගෙන යා නොහැකි යැයි කල්පනා කළ හෙයිනි.  

“ජන ඝෝෂාව” දින උදේ වරුවේ 11 ට පමණ අප කිහිප දෙනෙකු අනුරගේ නිවසේදී හමුවන්ට එකඟව සිටියෙමු. ප්‍රදීප් හපන්ගම, මහාචාර්ය කමල් කරුණානායක, ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. එල්. ගුණසේකර, ජිනදාස නියතපාල, හලීම් ඉෂාක් සහ තවත් කිහිප දෙනෙකු අප යන විටත් එහි පැමිණ සිටියහ. ලිප්ටන් වටරවුම අවට තත්ත්වය මැන බලා එන්නට යැයි අනුර ඔහුගේ පෞද්ගලික ලේකම් ලාල් පෙරේරාව පිටත්කර හැරියේය. පැය භාගයකට පමණ පසු පැමිණි ඔහුගේ වාර්තාව වූයේ “වෙනදා වගේ තමයි. වෙනසක් පේන්න නැහැ.” යන්නය. “පොලීසියත් නැද්ද?” අනුර  ඇසුවේය. “පොලීසිය නැත්තං වැඩක් නැහැ……මීඩියා වලට ඇහෙන්න සද්දෙට බැන ගන්න මහින්දට පොලීසිය ඕනෙ” කියා ඔහු හයියෙන් හිනා වුනේය.  

දහවල් 12 ට ආසන්නයේ ලිප්ටන් වටරවුමෙහි “ඔසු සළ” ඉදිරිපිට වට රවුමට අප ගොඩවන විට තැන තැන පොලීසියෙන් සිටියද ඔවුහු කිසිදු අවහිරයක් නොකළහ. කවුදෝ වෙලාව හරි යැයි මහින්දට ප්ලාස්ටික් නලාවක් අතටදී “මහින්ද මහත්තයා මේක පිඹින්න” යැයි කීවේය. ඒ වනවිට “ජන ඝෝෂාව” සංවිධානය කිරීමට බොහෝ ස්වේච්ඡා සංවිධායකයින් ඉදිරිපත්ව සිටියහ. සමහරු සෙනඟ හැසිරවීමටත් විවිධාකාරයෙන් ශබ්ද නැගීමටත් උපදෙස් දෙන්නට වූහ. සමහරු සෙනඟ පාරට රොක් කරන්නට වූයේ වාහන තදබදයක් සමග වාහන නලා ශබ්දකර වීමටය. වාහනකරුවන්ගෙන් ලද සහායද ඉමහත් විය. ඇතැමුන් වාහනය පාර මැද නවතා වාහනයේ නලාව දිගටම ශබ්ද කළහ. තවත් කිහිප දෙන වාහනයෙන් බැස වීදුරුවෙන් අත දමා දිගටම නලාව ශබ්ද කෙරුවේ, අනෙකුන්ට අනිත් අත වනමින්ය. විනාඩි 10 ක් 15 ක් යන විට ඇස්වාට්ටුව-ලිප්ටන් වටරවුම ප්‍රදේශය මහා ගාලගෝට්ටියක් විය. පාදයාත්‍රාව ආරම්භයේ සිට අවසානය දක්වා ගමන් ගිය “සාරවිට” වෙළෙන්දා ඔහු අත ඇති කුඩා සීනුව වනමින් මා ළගට විත් “අපිත් ඉන්නවා මහත්තයා” යැයි කියුවේ මහත් ආඩම්බරයෙන් මෙනි. අප බලාපොරොත්තු වූවාට වඩා විශාල සෙනඟක් හවුල්ව සිටියහ. වාහන නලා ශබ්දය අනෙක් සියලු ශබ්ද අභිබවා ප්‍රදේශය පුරාවෙන්ම ඇසිණ. පස්වරු 01 ට පමණ මහින්ද ආඩම්බරයෙන් සෙනඟ අමතා කතා කර, “ජන ඝෝෂාව” කෙළවර කළේය.

නැවත අප අනුරගේ නිවසට ගොඩ වූයේ පශ්චාත් පරීක්ෂණයක් සඳහා ය. නොයෙක් දෙනාට නොයෙක් කතා තිබිණ. ඒ අතර, ලාල් පෙරේරා ඔහුගේ සම්බන්ධකම් මත ප්‍රාදේශීය තොරතුරු එකතු කරන්නට විය. ඔහුගේ වාර්තා අනුව මීගමුව, මහනුවර, කුරුණෑගල, අනුරාධපුර, බදුල්ල, ගාල්ල, තංගල්ල සමග තවත් නගර ගණනාවක “ජන ඝෝෂාව” ඉතා සාර්ථකව පවත්වා ඇත. අනුරට දුරකතනයෙන් කතා කළ එම්.කේ.ඩී.එස් ගුණසේකර මන්ත්‍රී ත්‍රිකුණාමලය ඔවුන්ගේ විරෝධය සාර්ථක වූ බැව් කීවේය. “අපට රතිඤ්ඤා පත්තු කරන්න එපා කියුවා හමුදාවෙන්” ඔහු අනුරට කියා තිබුණි. “කවුරු හරි වෙඩි තිබ්බත් දන්නැහැ” හමුදාවේ හේතු දැක්වීම්වී තිබුණ අතර, “හමුදාව හරි” යැයි අනුර එම්.කේ.ඩී.එස්ට කීවේය.  

“රට පුරා තමයි ඉතිං බැලුවම” ඒ කතා අසාගෙන සිටි මහාචාර්ය කරුණානායක අනුර සමගින් කීවේය. ඒ අතර හොරණ කිහිප දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබී යැයිද වාර්තා ලැබිණ. නීතිඥවරයෙකු වූ හොරණ ශ්‍රී.ල.නි.ප සංවිධායකයෙකු සමග මහින්ද දුරකතනයෙන් ඒ සම්බන්ධව කතා කළේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම ගැනය.

එවැනි තොරතුරු අතර වඩාත්ම ආකර්ශනීය කතාව වූයේ තවත් නීතිඥයෙකු මහින්දට කියූ කතාවය. ඒ දහවල කෑම සඳහා පෝලිම් ගැසුණු කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් ඔවුන්ගේ බෙලෙක් පිඟන් එකිනෙකට ගසමින් “ජන ඝෝෂාවට” හවුල් වූ කතාව ය.             

හොරණ නගරයේ බෙර සහ දවුල් වාදනය කිරීමෙන් එදිනෙදා ජන ජීවිතයට බාධා කෙරිණැයි අත් අඩංගුවට ගැනීම කෙළවර වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. විනිසුරු මාක් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පෙත්සම් විභාගය අවසන් කරමින් තීන්දුව දෙනු ලැබූයේ ආණ්ඩුවකට, පක්ෂයකට සහ ප්‍රතිපත්ති හා වැඩසටහන් වලට සහාය දැක්වීමට වාගේම ආණ්ඩුවකට, පක්ෂයකට සහ ප්‍රතිපත්ති හා වැඩසටහන් වලට විරෝධය දැක්වීමටද ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇතැයි කීමෙනි. අදහස් පළ කිරීමේ හා ප්‍රකාශනයේ නිදහස ඇහිරීම, මූලික අයිතීන් උල්ලංඝණය කිරීමකින් තොරව නෙකෙරෙන්නකැයිද එම මූලික අයිතීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 14(1)(අ) අනු ව්‍යවස්ථාව මගින් සියලු පුරවැසියන්ට සහතික කෙරෙන්නේ යැයිද අර්ථ ගැන්වුනි.

ඒ අනුව විරෝධය දැක්වීමේදී සංවිධානාත්මකව ශබ්ද කිරීමද එක් විධික්‍රමයක් යැයි “ජන ඝෝෂාව” මගින් පිළිගැනුමට ලක් කෙරුණකි. එය වාහන නලා ශබ්දයද, ඝාණ්ඨාරද, බෙර දවුල්ද, බෙලෙක් පිඟන්ද ආදි වශයෙන් තේරීමක් නොමැතිව සංවිධානය කළ හැකි විරෝධයක් බවටද සනාථ වූවකි. ආණ්ඩුවට හෝ ආණ්ඩුවේ තීන්දු තීරණ වලට හෝ විරෝධය පෑමට සංවිධානාත්මකව ශබ්ද කිරීමද අදහස් ප්‍රකාශ කිරීමේදී ජනතාවගේ එක් මූලික අයිතියක් යැයි “ජන ඝෝෂාව” මගින් ඔප්පු කෙරුවකි.

එහෙත් පොලීසිය අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට අධිකරණය වෙත ඉදිරිපත් කර මහේස්ත්‍රාත්වරයා විසින් දැඩිව අවවාද කර ඇප ලබා දී තිබුණේ මහින්ද රාජපක්ෂ 2019 මැයි මාසයේ කියූ අයුරු සාමුහිකව වාහන නලා ශබ්ද කිරීමෙන් සිය “ආණ්ඩු විරෝධය” ප්‍රකාශ කිරීමක් සංවිධානය කළ පුද්ගලයෙකි. එය විනිසුරු මාක් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණයේදී ජනතාවගේ මූලික අයිතියක් යැයි 1992 දී තීන්දු කෙරුවකි.

– කුසල් පෙරේරා –

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...