24 C
Colombo
Thursday, March 30, 2023

මගේ මූසලකම නිසා චිත්‍රපට අසාර්ථක වුණාලු – තප්සී පන්නූ

- Advertisement -

කොවිඩ්-19 වසංගත සමය අස්සේ අන්තර්ජාලයෙන් නරඹන්නට ලැබුණු චිත්‍රපටි අතර ‘තප්පඞ්’ හින්දි චිත්‍රපටිය විශේෂයි. අධ්‍යක්ෂ අනුභව් සිංහා සුපුරුදු ලෙස විශිෂ්ට පිටපතක් හා කතාවක් සමඟ සමාජ ප්‍රශ්නයකට සිය අවධානය යොමුකර තිබෙනවා. ‘මුල්ක්’ හා ‘තප්පඩ්’ යන චිත්‍රපටි දෙකේදීම ඔහු ප්‍රධාන රංගන ශිල්පිනිය ලෙස පාවිච්චි කළේ තප්සී පන්නු. ඇය පසුගිය කාලසීමාවේදී ස්ත්‍රී කේන්ද්‍රීය චිත්‍රපටි ගණනාවක ප්‍රධාන චරිතය රඟපා තිබුණා. ඒ චිත්‍රපටි සාර්ථක වී තිබුණා. 2018 දී ‘ෆෝබ්ස්’ සඟරාවෙහි බලවත්ම ඉන්දියානු තරු 100 අතරටත් ඇය එක්වුණා. ඇය දකුණු ඉන්දියාවෙන් බොලිවුඩයට පැමිණ, රංගනයෙන් සුවිශේෂ අනන්‍යතාවක් නිර්මාණය කරගත් රංගන ශිල්පිනියක්. ඒ අනුව ජනප්‍රිය නළුවන් නැතිව, ශක්තිමත් පිටපතක් සහිත ජනප්‍රිය චිත්‍රපටියක් සාර්ථක කරන්නට තප්සීගේ රංගනයට හැකියාව තිබෙනවා.

පින්ක්, මුල්ක්, මන්මර්සියාන්, බද්ලා, ගේම් ඕවර්, තප්පඩ් හා සාන්ද් කි ආන්ක් යන සාර්ථක හා විශිෂ්ට චිත්‍රපටිවල කේන්ද්‍රීය ප්‍රධාන චරිතය ඇය රඟපෑවා.ජනප්‍රිය යැයි සම්මත, එහෙත් කිසිදු කලාත්මක හරයක් නැති චිත්‍රපටිවල පිරිමින්ගේ සෙවණැල්ලෙහි වැටුණු කාන්තා චරිතවල තප්සී එදිනෙදා මුණගැහෙන්නේ නැහැ. ඇය චිත්‍රපටියක් තෝරාගැනීමෙන්ම, ඒ චිත්‍රපටිය යහපත් යැයි ප්‍රේක්ෂකයන්ගේ විශ්වාසයක් ඇති වෙනවා. ඇය සිනමාවට ආවේ 2010 තෙලුඟු චිත්‍රපටියක් වන ‘ජුම්මාන්ඩි නාදම්’ චිත්‍රපටියෙන්. ඇගේ දෙවැනි චිත්‍රපටිය වූ ඉන්දීය සිනමාවටම දැවැන්ත බලපෑමක් කළ වෙට්ට්‍රිමාරන්ගේ ‘ආදුකාලම්’ නම් ඓතිහාසික චිත්‍රපටියෙන් ඇය සිනමාවේ තමන්ටම අනන්‍යතාවක් වෙන් කරගත්තා. මේ ඇය කළ සම්මුඛ සාකච්ඡා දෙකකදී ඇගෙන් විමසූ ප්‍රශ්න හා ඇය ලබාදුන් පිළිතුරු.

ඔබ රඟපාන්න පටන් ගෙන අවුරුදු ගණනාවක් වෙනවා. මේ වෙනකොට ඔබටම කියලා රංගන අනන්‍යතාවක් හදාගෙන තියෙනවා. ඒ කොහොමද?

මම ක්ෂේත්‍රයට ඇවිත් ටික කාලයකින්  අවබෝධ වුණා රඟපානවා කියන්නේ නිළියගේ හෝ නළුවාගේ ඇඳුම් විලාසිතාව, කොණ්ඩ විලාසිතාව හෝ මේකප් නෙවෙයි කියලා. යම් කොටසක් රඟපාලා විවේකයක් ගන්නා අවස්ථාවල කැමරා මොනිටරය දිහා බලන්න, ඒ කොටසේ තමන්ගේ රංගනය කොහොමද කියලා බලන්න බොහෝ අය පුරුදු වෙලා ඉන්නවා. මම ඒ දේ කරන්නේ නැහැ. නිතරම ගිහින් මගේ කොණ්ඩ විලාසිතාව සහ මේකප් එක මට ගැළපෙනවාද කියලා බලන්න ඕනෑ නැහැ. චිත්‍රපටියක රඟපෑම කියන්නේ දැන්වීම් පුවරුවකට සිදු කරන රූගත කිරීමක් නෙවෙයි.

නමුත් ඔබ ‘ජුඩ්වා 2’ කියන වාණිජ චිත්‍රපටියේ රඟපෑවා..

ඔව්, මම ඒ චිත්‍රපටයේ රඟපෑවේ ඒ විදියේ වාණිජ ගණයේ චිත්‍රපටි රඟපාන්න බෑ කියලා කියන මිනිසුන්ට අභියෝගයක් විදියට. එහෙත් මම දන්නවා වාණිජ චිත්‍රපටයක රඟපාන්න තරමට මට පෙනුමක් නැහැ කියලා. ඒත් මම මගේ පෙනුම ගැන සෑහීමකට පත්වෙනවා. කරන්න තියෙන්නේ තමන් ගැන විශ්වාසයක් ඇති කරගන්න වැඬේ විතරයි. ඉන්පස්සේ අපිට ඕනෑ දෙයක් කරන්න හැකියාවක් ලැබෙනවා. මම ප්‍රවීණ නිළියක් නෙවෙයි. මම චරිතයක් කරන්න කලින් ඒ චරිතය ගැන අධ්‍යයනය කරන්නේ නැහැ.

ඇයි ඒ….?

මට මතකයි අනුරාග් කාශ්‍යප්ගේ මන්මරසියාන් චිත්‍රපටය කරන විට ඔහු මට යෝජනා කළා ප්‍රංශ චිත්‍රපට කිහිපයක් බලන්න. මම ඒ චිත්‍රපටි බැලුවා. ඉන්පස්සේ මම ඔහුට කිව්වා කවදාවත් මට චිත්‍රපට බලන්න කියලා යෝජනා කරන්න එපා කියලා. මම යම් චරිතයකට කැමති නම් ඒ වෙනුවෙන් උපරිම මහන්සි වෙන්නේ ඒ චරිතයේ ස්වාභාවිකත්වය සහ සෑබෑ ස්වරූපය චිත්‍රපටයට එකතු කරන්නට. මට පුළුවන් තරම් ඒ චරිතය ඇතුළට ගිහින් චරිතයට සාධාරණයක් කරනවා. කොහොම වුණත් එහෙම වෙලාවක මම බය වෙන්නේ නැහැ, මගේ රූපය කැත විදියට කැමරාවේ පෙනෙයිද නැද්ද කියලා.

ඔබ රඟපාන චරිතයෙන් චරිතයට ඔබ වෙනස්…

එක් චරිතයෙන් චරිතයට මගේ රගපෑම වෙනස් වෙන්නේ ඉබේම. ඒ චරිත රඟපාන්න මම කිසිම පුහුණුවක් ලබන්නේ නැහැ. නමුත් ‘සූර්මා’ (හොකී ක්‍රීඩිකාවක්) සහ  ‘සාන්ද් කී ආක්’ (වෙඩික්කාරියක්) චිත්‍රපටවල මම කළේ වෙනස් චරිත. ඒ නිසා මට ඒ ගැන අත්හදා බලන්න සිදු වුණා. සමහරු කියනවා මම ආත්මාර්ථකාමියි කියලා. නමුත් මම කියන්නේ ඒ මගේ  ආත්ම විශ්වාසය.

බොලිවුඩයේ නිළියන් ජනප්‍රිය තලයේ ප්‍රතිරූප හදාගෙන සිටිනවා. ඔබ එහෙම නැහැ..

බොලිවුඩයේ අනෙක් නිළියන් ප්‍රේක්ෂකයන්ට බයයි. ඒ නිසා ඒ අය තමන්ගේ ප්‍රේක්ෂකයන් කියන දේවල් විතරයි කරන්නේ, කිසිම කෙනෙක් මගේ ගැන සැලකිල්ලක් දක්වන්නේ නැති නිසා මට ප්‍රතිරූප හදාගෙන ඒ ඇතුළේ ජීවත් වෙන්න ඕනෑ නැහැ. ඒ නිසාම අනෙක් අය කරන්න කියන දේවල් සහ නොකරන දේවල් ගැන කවුරුවත් මට උපදෙස් දෙන්නේ  නැහැ.

ඔබ නිතරම ‘ඔන්ලයින් බුලි’ කිරීම්වලට ලක් කෙරෙනවා නේද?

මට ඒ ගැන අත්දැකීම් තියෙනවා. අන්තර්ජාලය සහ මුහුණු පොත හරහා මට බොහෝ දෙනෙක් කියනවා ඔයාට මාකට් එකේ මිලක් නැහැ. ඔයාව චිත්‍රපටවලට ගැළපෙන්නේ නැහැ කියලා. මම රගපෑම් කළ චිත්‍රපට අතිසාර්ථක වුණත් කිසිම කෙනෙක් ඒ ගැන කතා කළේ නැහැ. ඒ අය හිතුවේ චිත්‍රපට කිහිපයක් කළාට පස්සේ මම සිනමාවෙන් සමුගනියි කියලා. නමුත් එහෙම වුණේ නැහැ. ඇත්තටම ඒ අය කියන විදියට මට ඉන්න ඕනෑ නැහැ.

ඔබව මානසිකව ඇදදමන්න උත්සහ කළ අයව ඔබට මුණගැහෙනවාද?

ඔව්, ඒ විදියේ හුගක් අයව මට මුණගැහෙනවා. විශේෂයෙන්ම මාව සිනමාවෙන් ඉවත් කරනවා කියූ අයව මට මුණගැහෙනවා. එහෙත් මම ඒ අය කියපු දේවල් වැඩිය ගණන් ගත්තේ නැහැ. සමහර දේවල් ගණන් ගන්න වුවමනාත් නැහැ කියලා මට හිතුණා. සාමාන්‍ය මනුස්සයෙක් විදියට මමත් කැමතියි පළිගන්න. ඒත් මම ඒ අයගෙන් පළිගන්නේ තවත් සාර්ථක වෙමින්. ඉතින් එහෙම සාර්ථක වුණ වෙලාවට ඒ අය මගේ ගාවට ඇවිදගෙන ඇවිත් මට සුබ පතනවා. මම කරපු වැඩ ගැන අගය කරනවා. ඒ වෙලාවට මගේ පළිගැනීමේ චේතනාව නිම වෙනවා. මම ඒ අයගේ මුහුණට කියන්නේ නැහැ ඔයා මට මේ විදියේ දෙයක් කියලා තියෙනවා කියලා. මම මටම කියා ගන්නවා හරි, දැන් ඒක ඉවරයි කියලා.

ඔබ අසාර්ථක නිළියක් විදියට හැඳින්වූවා නේද?

මට මතකයි මගේ ඒජන්සියෙන් මට වෙලාවක කිව්වා කවුරුවත් ඔයාව චිත්‍රපටයකට ගන්න කැමති නැහැ කියලා. ඒ වෙලාවේ මට හිතාගන්න බැරිවුණා. ඒකට ප්‍රධාන හේතුව වෙලා තිබුණේ මම දෙමළ චිත්‍රපටවල රඟපා තිබීම. වෙලාවක අධ්‍යක්ෂවරයෙක් මාව පොල් ගෙඩියට සමාන කරලා තිබුණා.

මුල් කාලයේ ඔබ රඟපෑ චිත්‍රපටිවල අසාර්ථක වෙන්න ඔබ බලපෑ බව කියනවා නේද?

මම සිනමාවට ආ මුල් කාලයේ රඟපෑ චිත්‍රපට කිහිපයක් එක දිගට අසාර්ථක වුණා. ඒවා අසාර්ථක වීමට  හේතුව විදියට චෝදනාව ආවේ මට. මගේ මූසලකම නිසා කියලා ඒ අය කිව්වේ. ඒ චෝදනාව වෛරී සහගතයි වගේම අසාධාරණයි. ඒ වගේ දෙයක් සිනමාවට එන කිසිම කෙනෙකුට වෙන්න නරකයි. මගේ මුල්ම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කිව්වා ඒ චිත්‍රපටයේ අසාර්ථකම චරිතය මම කියලා. මෑතකදී ඔහුම මාව හමුවෙලා ඔහුගේ නව චිත්‍රපට කිහිපයකට රඟපාන්න ආරාධනා කළා. ඒත් මම ඒ ආරාධනාව භාර ගත්තේ නැහැ.

මේ වෙනකොට කවුරුවත් ඔබට එවැනි චෝදනා නගන්නේ නැහැ…

නැහැ, මේ වෙනකොට  එවැනි චෝදනා නගන්න මම ඉඩ තියන්නේ නැහැ. මම හැම වෙලාවෙම මම කරන දේවල් මොනවාද, ඒවා කළ යුතුද කියලා දෙපාරක් හිතනවා. මුල් කාලයේ මම අසාර්ථකයි කියලා පත්තරවල පවා ලියැවුණා. සමහර ලිපිවල මගේ සිනමා දිවිය ඉවරයි කියලා ලියැවිලා තිබුණා. මම සිනමාවට ඇවිත් අවුරුදු ගණනාවක් වුණත් අදටත් මට සිනමා සම්මාන උත්සවවලට ආරාධනා කරන්නේ කලාතුරකින්. එහෙම ආරාධනාවක් ආවත් මට ලැබෙන්නේ හයවෙනි, හත්වෙනි පේළිවල ඉඳගන්න. ඒ ක්‍රියාවෙන් බොලිවුඩය මට පෙන්වන්නේ මම එයාලාගේ රැහේ කෙනෙක් නෙවෙයි කියලා වෙන්න ඇති. මාව ඒ සමාජයට ගන්නෙත් නැහැ. මම යන්න උත්සහ කරන්නෙත් නැහැ.

RECENT ARTICLES - SINHALA

ක්‍රිප්ටෝ කරන්සි ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ...

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...