අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක් පැනවීමට තීරණය කර තිබෙනවා.
ඒ, ඕස්ට්‍රේලියාව සමඟ ඊයේ (13) පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී අඩු පන්දුවාර වේගයක් රඳවා තබාගැනීම හේතුවෙන්.
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 20% ක දඩයක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට ICC ය අවවාදයක් නිකුත්කර ඇති බවද වාර්තා වනවා.
ඒ තරඟය අතර තුර අසභ්‍ය වචන භාවිත කිරීමට අදාලවයි.
මේ අතර ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියාව 20 යි 20 ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ඔස්ට්‍රේලියාව වෙත ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට එරට ක්‍රිකට් බලධාරීන් විසින් කුඩම්මාගේ සැලකිලි දක්වා ඇතැයි වාර්තා වනවා.
මේවනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා ඇතුළු විධායක කමිටු නිලධාරීන් කිහිපදෙනෙකු ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටිනවා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් කුඩම්මාගේ සැලකිලි දැක්වීම හේතුවෙන් ඔවුන්ට ඊයේ තරගය නැරඹීමට සිදුවූයේ ද සිඩ්නි ක්‍රීඩාංගනයේ සාමාන්‍ය ප්‍රේක්ෂකාගාර තුළ සිටයි.
සාමාන්‍යයෙන් විදෙස් රටක ක්‍රිකට් නිලධාරීන් කණ්ඩායමක් පැමිණිය හොත් සත්කාරක රට එම නිලධාරීන් සඳහා ඉහළ ආගන්තුක සත්කාර දැක්වීම සාමාන්‍ය සම්ප්‍රදායයි. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ද විදෙස් කණ්ඩායම් මෙරටට පැමිණෙන අවස්ථාවලදී එම රටවල ක්‍රිකට් බලධාරීන්ට ඉහළ ආගන්තුක සත්කාර දක්වනු ලබනවා.
එවන් පසුබිමක ඕස්ට්‍රේලියාවේදී සිය නිලධාරීන්ට මෙවැනි අඩු සැලකිල්ලක් දැක්වීම කණගාටුදායක බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
