26 C
Colombo
Sunday, May 12, 2024

සජබෙ උද්ඝෝෂණයට එරෙහිව පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ඉවතදමයි

- Advertisement -

හෙට (16) දින කෙසෙල්වත්ත ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත බව කියන උද්ඝෝෂණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන උපමාන වලට අනුකූලව පවත්වන ලෙස සමගි ජන බලවේගය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලීසිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා අද (15) ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් මෙම නියෝගයට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා මෙම නඩු තීන්දුවේ සහතික පිටපතක් ලබා දෙන ලෙසත් මෙහිදී පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම පැමිණිලි විභාගය ආරම්භයේදී මහේස්ත්‍රාත්වරයා විසින් පැමිණිල්ලේ අවධානය යොමු කරමින් මෙම ඉල්ලීම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 සහ 106 යන වගන්ති යටතේ සිදුකරන බව පොලීසිය විසින් සඳහන් කර ඇතැයි පෙන්වා දුන්නා.

අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ 98 වන වගන්තිය යටතේ මෙවැනි ඉල්ලීමක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා පොලිසිය අධිකරණය නොමග යවන ආකාරයෙන් මෙවැනි තොරතුරු ඉදිරිපත් කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කර සිටියා.

මෙවැනි වැරදි තොරතුරු හරහා අපහසුතාවයට පත් වන්නේ අධිකරණය බව පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වැරදි වගන්ති ඉදිරිපත් කරන අවස්ථාවන්හි ඊට අදාළ නියෝගය නිකුත් කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නා.

අවසානයේදී මහේස්ත්‍රාත්වරු වෙත චෝදනා එල්ල වන බවත් එවැනි අවස්ථාවන්හි මහේස්ත්‍රාත්වරුන්ගේ ආරක්ෂාවට කිසිවෙකු පෙනී නොසිටිනු ඇතැයි ද මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළා.

එම අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ තමන් සැමවිටම මහේස්ත්‍රාත්වරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවයි.

කෙසේ වෙතත් සිදු වූ ප්‍රමාද දෝෂය පිළිබඳව අධිකරණයට කණගාටුව පළ කරන බවත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ මෙම පැමිණිල්ල පවත්වාගෙන යන බවත් එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ පැවසුවා.

අනතුරුව අදාළ උද්ඝෝෂණයට එරෙහිව අධිකරණය හමුවේ කරුණු වාර්තා කළ කෙසෙල්වත්ත, වේල්ලවීදිය, ආදුරුප්පුවීදිය ඇතුළු කොළඹ මධ්‍යම කොට්ඨාශයේ පොලිස් ස්ථාන වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් විසින් හෙට දින කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉකුත් අගෝස්තු මස 21 වන දා පොලිස්පතිවරයා වෙත නිකුත් කර ඇති විධානයක් මගින් මහජන රැස්වීම් නැවත දැනුම් දෙන තුරු තහනම් කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියා.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ මස 09 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් ද මහජන රැස්වීම් අඛණ්ඩව තහනම් කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේ සෞඛ්‍ය නීතිරීති උල්ලංඝනය කරමින් පවත්වනු ලබන මෙවැනි රැස්වීම හරහා කොරෝනා ව්‍යාප්තිය තීව්‍ර වීමට ඉඩකඩ තිබෙන බවයි.

කොවිඩ් හේතුවෙන් මෙරට ජනතාවගෙන් ලක්ෂ 13 කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව 17000 කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම තත්ත්වයට පසුගිය කාලයේ දී රට තුළ පැවැති උද්ඝෝෂණ ප්‍රධාන හේතුවක් වී ඇතැයි සඳහන් කළා.

කොවිඩ් ව්‍යාප්තියට උද්ඝෝෂණ බලපා ඇති බවට නිල සංඛ්‍යා ලේඛන සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින්නේ දැයි මෙහිදී මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයාගෙන් විමසුවා.

අද දින අධිකරණ ශාලාව තුළ විශාල පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන් අතර අඩියක වත් පරතරයක් නොමැති බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා
ප්‍රකාශ කළා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාගේ අවධානය යොමු කර සිටියේ කොවිඩ් ව්‍යාප්තියේ දී “අලුත් අවුරුදු පොකුරක්” ගැන සඳහන් කළත් “උද්ඝෝෂණ” පොකුරක් පිළිබඳව මෙතෙක් සඳහන් වී නොමැති බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ උද්ඝෝෂණ හේතුවෙන් කොවිඩ් වර්ධනය වූ බවට නිල සංඛ්‍යා ලේඛන නොමැති බවයි.

අධිකරණ කටයුතු පවා පැවැත්වෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ උපදෙස් මත බවත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්නේද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය යටතේ පමණක් බවත් මෙහිදී නියෝජ්‍ය සොලිස්ර් ජනරාල්වරයා සඳහන් කළා.

ඔහු පෙන්වා දුන්නේ දිවයිනේ සියලු ප්‍රදේශවලින් දහස් ගණනින් ජනතාව කොළඹ නගරයට එක්රැස් වුවහොත් කොවිඩ් ව්‍යාප්තිය පහසුවෙන්ම සිදුවීමට ඉඩ කඩ ඇති බවත්, එය කොළඹ නගරයේ වෙසෙන ජනතාවට රටේ සෙසු ජනතාවටත් අනතුරුකාරී බවයි.

මෙවැනි වාතාවරණයක් තිබියදී සමගි ජන බලවේගය විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මහජන රැස්වීම් පැවැත්වීමට සූදානම්ට බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉකුත් 16 වන දා පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් සිදුකර ඇති බවත් ඒ අනුව පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීම සිදු කරන බවත් ඔහු දන්වා සිටියා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සදහන් කළේ මෙය පොලිසියේ අවශ්‍යතාවය මත සිදු කරන කරුණු දැක්වීමක් නොවන බවත් සෞඛ්‍ය අංශ වල අවශ්‍යතාවය මත නීතිපතිවරයා ද මැදිහත් වී මෙම කරුණු දැක්වීම සිදු කරන බවයි.

තමා කිසිදු අවස්ථාවක උද්ඝෝෂණය තහනම් කරන ලෙස ඉල්ලා නොසිටින බව කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රජයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවත් එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ වලට අනුකූලව පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් ගුණරත්න වන්නිනායක සහ අතුල එස් රණගල යන නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නයි අයැද සිටියා.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ එම උද්ඝෝෂණය කෙසෙල්වත්ත පොලිස් බල ප්‍රදේශය තුළ පැවැත්වෙන බවට නිශ්චිතව කරුණු ඉදිරිපත් වී නොමැති බවයි.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ වල මහජන රැස්වීම් වලට සහභාගී වීය හැකි පුද්ගල සංඛ්‍යාව හෝ ප්‍රතිශතයක් පිළිබඳව කරුණු දක්වා නොමැති බවද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. පොලීසිය විසින් ඉදිරිපත් කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

කෙසේ වෙතත් නිරෝධායන නීති උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලීසියට හැකියාව පවතින බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළා.

RECENT ARTICLES - SINHALA

මූතූර් වෙල්ලනාවල් පාලම කැඩීයාමේ අවදානමක

මූතූර් සාෆි නගර ප්‍රදේශයේ ඇති වෙල්ලනාවල් පාලම කැඩීයාමේ අවදානමකට ලක්වී තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ මිට වසර දෙකක පමණ සිටඑම පාලම අබලන් තත්වයට පැමිණෙමින් පවතින බවයි. අවිධිමත් වැලි...

රුසියා – යුක්‍රේන යුද්ධය මැද තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මිය ගිහින්

රුසියානු - යුක්‍රේන යුද්ධයේ කුලී හමුදාවන්ට එක්වී සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම්...

කෘත්‍රීම බුද්ධිය හා බෞද්ධ දර්ශනය අතර සම්බන්ධය හොයන්න බිලියනයක් වෙන්කරනවා-රනිල්

කෘත්‍රීම බුද්ධිය සහ බෞද්ධ දර්ශනය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ පර්යේෂණ කිරීමට රුපියල් බිලියනයක මුදලක් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා බෞද්ධ සමිතියට...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...