27 C
Colombo
Monday, May 6, 2024

චීනය සමග හවුලේ වංචා කිරීමට ගොස් බාල පොහොර නැවකට වන්දි ගෙවූ කතාව

- Advertisement -

චීන පොහොර තොගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කිසිදු ආකාරයක වන්දි මුදලක් ගෙවා නොමැති බවත් මේ වන විට සිදුව තිබෙන්නේ නීතිපති උපදෙස් අනුව දෙපාර්ශ්වයේ එකඟතාව මත වාණිජ අධිකරණයේ පවතින නඩුව සමථයකට පත් කරගැනීම පමණක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. ඒ අනුව ඩොලර් මිලියන 6.7ක් ගෙවීමෙන් පසු අපට අවශ්‍ය ප්‍රමිතියට අනුව අදාළ පොහොර යළි මෙරටට දීමට චීන සමාගම එකඟ වී තිබෙන බවද ඒ ඇමතිවරයා සඳහන් කරනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික පර්යේෂණ සම්මේලනය ගන්නෝරුවේදී පසුගිය 17 දා පැවැති අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළා.

වාණිජ අධිකරණයේ පවතින නඩුව සමථයකට පත්කර ගන්නා ලෙස නීතිපතිවරයා දුන් උපදෙස් අනුව දෙපාර්ශවය සමථයක් සඳහා එකඟ වී තිබෙන බවත් පොහොර නොමැතිව අප වන්දියක් ගෙවා ඇති බවට මෙය වැරදි ලෙස අර්ථකතනය කිරීමට ඇතැමුන් උත්සහ කරන බවත් හෙතෙම පෙන්වාදෙනවා. ශ්‍රී ලංකාවට පොහොර ටොන් 20,000ක් ආනයනය කිරීමට චීන සමාගමකට දුන්නේ ටෙන්ඩර් කැඳවීමකින් පසුව බවද ඔවුන් ඩොලර් මිලියන 5,000ක ඇපකරයක් ඒ වෙනුවෙන් දුන් බවද ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. ටෙන්ඩරයට අනුව පොහොර නැව ලංකාවට පැමිණීමෙන් පසු ඒ සඳහා ගෙවිය යුතු මුළු මුදලින් 75% ක් අප ඔවුන්ට දිය යුතු වූවත් පොහොරවල ප්‍රමිතිය නිසි ලෙස නොපැවතීම නිසා අධිකරණයට ගොස් අදාළ ගෙවීම නතර කළ බවද කෘෂිකර්ම ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඉහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන ආයතනය විසින් අහිතකර බැක්ටීරියා පවතින බව පවසමින් ප්‍රතිෂේප කෙරුණු චීන කාබනික පොහොර තොගය වෙනුවෙන් ශ්‍රී ලකාවට ගෙවීමට සිදුවන වන්දි මුදල සාධාරණිකරණය කිරීමට කෘෂිකර්ම ඇමතිවරයා උත්සාහ කරන ආකාරයයි. මෙවැනිම පැහැදිලි කිරීමක් මෙම පොහොර තොගය මෙරටට ගෙන්වීමට මැදිහත්වූ කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂද පසුගියදා ප්‍රකාශ කරනු ලැබුවා. ඔහු සඳහන් කරන ලද්දේ මෙම ඩොලර් මිලියන 6.7ක මුදල චීනයේ චින්දාවෝ බයෝටෙක් (Qingdao Seawin Biotech Group Co., Ltd) සමාගම වෙත ගෙවීමෙන් අනතුරුව සමාගම විසින් එම මුදලේ වටිනාකමට නැවත ශ්‍රී ලංකාවට විශේෂයෙන් එළවලු වගාවට අවශ්‍ය පොහොර තොගයක් එවීමට සුදානමින් සිටින බවයි.

කෙසේවෙතත් විෂය භාර ඇමතිවරුන් දෙදෙනාගේම මෙම ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බවත් ඒවා හුදෙක් මෙම වංචනික ගනුදෙනුවට එරෙහිව එල්ලවන විරෝධතා සමනය කිරීමට සිදුකරන ප්‍රකාශ පමණක් බවත් පෙනීයන්නේ එවැනි නැවත පොහොර එවීමේ එකඟතාවක් පිළිබඳව වන්දි මුදල අනුමත කෙරුණු කැබිනට් පත්‍රිකාවේ හෝ බාල පොහොර තොගය මෙරටට එවීමේදී අත්සන් කෙරුණු ගිවිසුමේ අන්තර්ගත නොවන බැවිනි. මෙම පොහොර නිෂ්පාදනය කළ චීනයේ චින්දාවෝ බයෝටෙක් (Qingdao Seawin Biotech Group Co., Ltd) වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 08කට ආසන්න මුදලක් (රුපියල් කෝටි 162කර වැඩි මුදලක්) ගෙවීමට ශ්‍රී ලංකා රජය තීරණය කරනු ලද්දේ පසුගිය දෙසැම්බර් 13වැනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී වන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සහ අධිකරණ ඇමැති අලි සබ්රි විසිනි. නීතිපතිවරයාගේ උපදෙස් මත එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණා.

කෙසේවෙතත් මෙම වන්දි කතාවේ සත්‍ය තත්වය පසුගිය දිනෙක මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කටින් පිටව තිබුණා. උත්සව අවස්ථාවකට සහභාගිවී පිටව යන ඇමතිවරයාගෙන් ජනමාධ්‍යවේදීන් විමසා සිටියේ රටේ මෙතරම් ඩොලර් හිඟයක් පවතිද්දී බාල පොහොර නැවකට මෙලෙස ඩොලර් මිලියන 6.7ක වන්දි මුදලක් ගෙවීමට සිදුවීම පිලිබඳවය. ඊට පිළිතුරු දෙමින් ඇමතිවරයා පවසන්නේ චීනය ඉතා විශාල සහ බලවත් රටක් බවත්, චීනයෙන් ඉතාම නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1500ක ණයක් ලැබීමට නියමිත බවත්, එමනිසා මෙවැනි ඩොලර් මිලියන 6.7ක සුළු මුදලක් පිළිබඳව වදවීම ශ්‍රී ලංකාව විසින් නොකළයුත්තක් බවත්ය. ඇමතිවරයාගේ එම ප්‍රකාශය අනුව පැහැදිලිව පෙනී යන්නේ චීනයේ බලහත්කාරයට ශ්‍රී ලංකාව කෙතරම් යටත්ව සිටින්නේද යන්නයි.

මේ අතර මෙම ආන්දෝලනයට තුඩුදුන් හිප්පෝ ස්පිරිට් නම් අදාළ පොහොර තොගය රැගත් නෞකාව දින 70 කට ආසන්න කාලයක් මෙරට මුහුදේ සැරි සැරීමෙන් අනතුරුව පසුගිය දෙසැම්බර් 04 වැනිදා මෙරට මුහුදු සීමාවෙන් ඉවත්ව පසුගිය 10 වැනිදා සිංගප්පුරුවට ළඟා වී තිබුණා. හිපෝ ස්පිරිට් නෞකාව සිංගප්පුරුව වෙත රැගෙන යනු ලැබුවේ සාම්පල ලබා ගැනීම සහ බේරුම්කරණය සඳහා බව චීනයේ චින්දාවෝ සිඩින් බයෝටෙක් සමාගම කියා සිටියා. චීන සමාගම බේරුම්කරණ අධිකරණයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඉල්ලා ඇතිබව කියවුණු වන්දිය ඩොලර් මිලියන 8 ක්. අදාළ කාබනික පොහොර නෞකාව මෙරටින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එහි හානිකර බැක්ටිරියා අඩංගු බව පවසමින්. කෙසේවෙතත් ඊට දින තුනකට පසුව ශ්‍රී ලංකාව අදාළ වන්දි මුදල ගෙවීමට කැමැත්ත පළකිරීමෙන් පසුව චීනය විසින් බේරුම්කරණය සඳහා ඉදිරිපත් කළ පෙත්සම ඉවත්කර ගනිමින් නෞකාව යළි චීනය වෙත රහෙන යාමට පියවර ගන්න බව චීන පොහොර සමාගම ප්‍රකාශ කර තිබුණා.

බේරුම්කරණයට යාමට සමගාමිව චීන පොහොර සමාගම විසින් තවත් අවස්ථාවක ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකාව වන්දිය ලබාදීම මගහරින නිසා මෙම ගැටලුවට මැදිහත්වන ලෙස එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානයේ ප්‍රධාන කාර්යාලයට සහ අන්තර්ජාතික ශාඛරක්ෂණ සම්මුති සංවිධානයට මේ පිළිබඳව පැමිණිලි කර ඇති බවයි. ඒ අනුව මෙම පොහොර ගැටලුවේදී ශ්‍රී ලංකාව බලහත්කාරයෙන් බිත්තියට හේත්තු කර තමාට අවශ්‍ය ආකාරයට වන්දිය ලබාගැනීමට අවශ්‍ය සියලුම කාරණා ගොනුකිරීමට චීනය සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවට වත්මන් ආණ්ඩුවට සම්බන්ද දේශපාලන කණ්ඩායම බලයේ සිටි 2009 වසරේදීද මේ ආකාරයටම ඛනිජතෙල් මිලදී ගැනීමේ කුප්‍රකට හෙජින් ගිවිසුම කඩකිරීම නිසා අන්තර්ජාතික බේරුම්කරණයේදී ඩොලර් මිලියන ගණනක වන්දියක් ගෙවීමට සිදුවුණා. එපමණක්ද නොව ඉන් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ප්‍රංශ එයාර් බස් සමාගමින් ගුවන් යානා මිලදී ගැනීමට වංචනික ගනුදෙනුවක් සිදුකිරීම පාදක කර ගනිමින්ද විශාල වන්දි මුදලක් ගෙවීමට සිදුවුණා. එම අවස්ථා දෙකේදීම අදාළ විදේශීය පාර්ශ්වකරුවන් අන්තර්ජාතික බේරුම්කරණය වෙත යාමට සුදානම්වූ විට ශ්‍රී ලංකාව වන්දි ලබාදීමට කැමැත්ත පළකර තිබුනා. එමනිසා මෙම වංචනික ගනුදෙනුවේදීත් ශ්‍රී ලංකාව බේරුම්කරණයට මෙපිටින් මෙය විසඳා ගැනීමට එකඟවීම පුදුමයට කරුණක් නෙවෙයි. ඊට හේතුව බේරුම්කරණය දක්වා මෙය ඇදී ගියේනම් චීන සමාගම විසින් මෙම වංචාවට හවුල්වූ කෘෂිකර්ම ඇමතිවරුන් දෙදෙනා සහ පොහොර ලේකම් කාර්යාලයේ ඉහල නිලධාරීන්ව අන්තර්ජාතික තලයේදීම නිරාවරණය කිරීමට සුදානමින් සිටි නිසා.

අනෙක් අතට ශ්‍රී ලංකාවට සිය වංකභාවය නිසාම අන්තර්ජාතික බෙරුම්කරණයකදී ජයගැනීමට හැකියාවක් පැවතුණේ නැහැ. මෙම පොහොර ගනුදෙනුවේදී ඊට අදාළ ණයවර ලිපි විවෘත්ත කර තිබෙන්නේ පොහොරවල ප්‍රමිතිය පරික්ෂා කිරීමට ප්‍රථමයෙනුයි. චීන සමාගම විසින් ඒ බව ලේඛන සහිතව ඔප්පු කර තිබුණා. එසේම අන්තර්ජාතික බෙරුම්කරණයකදී චීනය වැනි විශාල සහ ධනය ඇති රටක් සමග නිවරදිකරුවකු ලෙස හෝ තරග කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැහැ. ඒ සඳහා ඇති හොඳම උදාහරණය වන්නේ අන්තර්ජාතික බේරුම්කරණ අධිකරණය හමුවේ මෑතකදී අවසන් වුණු ‘පැක් රිම්'(Pac Rim Cayman) නඩුවයි. ‘පැක් රිම් එදිරිව එල් සැල්වදෝර් ජනරජය’ නඩුවේදී අවසානයට එල් සැල්වදෝර් රජයට වන්දි ලෙස අදාළ පතල් කැණීම් සමාගමට එක්සත් ජනපද ඩොලර් මිලියන 8ක් ගෙවීමට සිදුවුණා. මෙම නඩුවට මැදිහත්වෙමින් අදාළ පතල් සමාගම එල් සැල්වදෝරයේ රාජ්‍ය නීති පද්ධතිය වෙනස් කිරීමට පවා ඩොලර් ලක්ෂ ගණනින් වියදම් කර තිබුණා. එමනිසා අවසානයට කිවයුත්තේ දේශපාලකයන් කිහිපදෙනකුගේ මඩිය තරකර ගැනීමට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වලපල්ලට යවමින් සිදුකල මෙම වංචනික ගනුදෙනුව වෙනුවෙන් අවසානයේ මීට කිසිදු සම්බන්ධයක් නොමැති සෑම ශ්‍රී ලාංකිකයකුටම සිය පසුම්බියෙන් වන්දි ගෙවීමට සිදුව ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

අලුත් වෙන පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භකිරීමට කටයුතු යොදා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ යම්...

දරු දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගත් පියා අත්අඩංගුවට

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ (05) රාත්‍රී...

සාමාන්‍ය පෙළ විභාගය අද

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වෙනවා. ඒ සඳහා පෙනී සිටින සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව හාර ලක්ෂ 52,979ක්. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...