27 C
Colombo
Friday, May 3, 2024

ආර්ථිකය අර්බුදයට ඇද දමා කොළඹ මැද නැගී සිටින සුදු අලියා

- Advertisement -

ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල් සිය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුත්තේ සිය රටවලට අදාළ ව්‍යාපෘති හරහා උපරිම ලාභ ප්‍රයෝජන ලැබෙනවාද යන්න නිසි ලෙස තක්සේරු කිරීමෙන් අනතුරුවයි.

ඒ අදාළ ව්‍යාපෘති සිදුකර ගෙන යෑමේදී සිදුවන සුළු අත්වැරුද්ද පවා, තුන්වන ලෝකයේ අපවැනි රටවල ආර්ථිකයට දරාගත නොහැකි තරම් මට්ටමකට පත්වීමට වැඩි ඉඩකඩක් පැවතීම හේතුවෙන්.

කෙසේ වෙතත් මෙරට පාළකයින්ද අවස්ථා කිහිපයකදීම එකී වරද ශ්‍රී ලංකාව තුල නැවත නැවත සිදු කර තිබීම වර්තමානයේ අප අත්විදින මෙම දරුණු ආර්ථික පරිහානියට හේතු සපයනවා.

ඉන් ප්‍රදාන තැනක් ගන්නා ‘‘සංවර්ධන බෝඩ් ලෑල්ලට සීමා වූ’’ මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපෘති අතර නෙළුම් කුළුණට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

ශ්‍රී ලංකාව තුල බහුකාර්ය විදුලි සංදේශ කුළුණක් ඉදිකිරීමේ අවශ්‍යතාව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට ඇති වුණේ 2008 වසරේදීයි.

ඒ අනුව මුලදී ඊට පෑලියගොඩ නගරයේ ඉඩමක් යෝජනා වුවද අදාළ ඉඩම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් හේතුවෙන් එහි ඉදිකිරීම් ආරම්භ කෙරුනේ නැහැ.

කෙසේ වෙතත් වර්තමානයේ ‘නෙළුම් කුළුණ’ ඉදිකර ඇති කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඇති රජයේ ඉඩම් 2010 වසරේදී මේ සඳහා හඳුනා ගැනෙනවා

2012 වසරේදී මෙහි ඉදිකිරීම් ආරම්භ වන්නේ, අක්කර 6ක් පමණ වූ මෙම ඉඩමේ දිවිගෙවූ පැල්පත්වාසීන්ට මහල් නිවාස ලබාදී ඔවුන් එම ස්ථානයෙන් ඉවත්කිරීමෙන් අනතුරුවයි.

දකුණු ආසියාවේ උසම කුලුන ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබෙන බවට ආඩම්බරයෙන් අප ප්‍රකාශ කළත්, එය ඉදිකරන ලද්දේ ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3 ක තරම් දැවැන්ත චීන රජයේ ණය ආධාර වලින් වීම වර්තමානයේ අප මුහුණ දී සිටින දැඩි ආර්ථික අවපාතයට හේතු සපයනවා.

ණය ආපසු ගෙවීමේ වසර 10ක් සඳහා වසරකට බිලියන 2.4 බැගින් ගෙවීමට නියමිතව තිබුණා.
‘නෙළුම් කුළුණ’ ඉදිකිරිම සඳහා තෝරාගත් කොන්ත්‍රාත් සමාගම් දෙක චීන සමාගම් වූ අතර මෙය ඉදිකිරීම සඳහා චීන එක්සිම් බැංකුව ණය මුදලක් ලබාදීමට කටයුතු කළ අතර එය ‘‘චීන ණය මුදල් චීනය වෙතම’’ ඍජුව ගලා යෑමක්.

චීනය ක්‍රියාත්මක කරමින් සිටින එක් තීරයක් හා එක් මාවතක් (BRI – Belt and Road Initiative) නම් වැඩපිළිවෙල යටතේ ඒ සඳහා වන ගිවිසුම්වලට අත්සන් තැබුණු බව මාධ්‍ය වාර්තා වල සදහන්.

චීනයේ එක්සිම් බැංකුව ව්‍යාපෘතියට යන මුදලින් 80%ක් ලබා දෙද්දී ඉතිරි මුදල යෙදවීමට තිරණය වී තිබුණේ විදුලි සංදේශ නියාමන කොමිසම හරහායි.

එම සැලසුමට අනුව තීරණය කෙරුණේ නෙළුම් කුළුණ මගින් ලබාගන්නා ආදායමෙන් වසර 40කින් එම ණය මුදල ගෙවීමට වූ අතර දින 912කින් එනම් 2015 වසරේ ඉදිකිරීම් අවසන් කිරීමේ අරමුණින් වැඩ ආරම්භ කළත් ඊට වසර 7ක් ගත වුණා.
නෙළුම් කුලුන අදටත් රටට ශත පහක මුදලක් උපයා දී නොමැති අතර, ශ්‍රී ලාංකික ජනතාව අදටත් නෙළුම් කුලුනේ ණය ගෙවමින් සිටීම අතිශය කණගාටුවට කරුණක්.

රටට දරාගත නොහැකි මට්ටමින් ණය ගෙන එය ඉදිකිරීම පාළකයන්ගේ දැඩි අමනෝඥ තීරණයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.
ආහාර අර්බුධය, ඉන්ධන ගැටළුව , ඉන්ධන පෝලිම් මැද අසීරුවෙන් සිය දිවි සරිකරගන්නා ජනතාවට අද සිදුව ඇත්තේ කොළඹ මැද උසට උසේ විරාජමාන වී සිටින මෙම සුදු අලියා දෙස බලා සුසුම්ලෑමට පමණයි.

කොරෝනා උවදුරත්, නිසි ආර්ථික දැක්මක් නොමැති වීම හේතුවෙන් වර්තමානයේ දැඩි ඩොලර් හිඟයකින් පසුබෑමට ලක්වී සිටින ශ්‍රී ලංකාවට නෙළුම් කුළුණ සුන්දරත්වයේ සංඛේතයක් වෙනුවට, කොළඹ මැද නැගීසිටින බරපතළ ණයකාරයෙක් ලෙස නොපෙනෙන්නේ යැයි කාටනම් කිව හැකිද?

නෙලුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදින සුවිශේෂී අණාවරණයක්ද සිදුකළා.
ඒ මෙම ව්‍යාපෘතිය හරහා අදටත් සොයා ගැනීමට නොහැකි සමාගමකට රුපියල් බිලියන 2ක මුදලක් ගෙවා ඇති බව පවසමින්.
මුදල් අතුරුදන්වීමේ සිද්ධියෙන් පසු මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් චීනයේ එක්සිම් බැංකුව ලබා දීමට පොරොන්දුව තිබූ රුපියල් බිලියන 19 අත්හිටුවා ණය දීම බිලියන 12කට සීමා කර තිබුණි.

මේ හේතුවෙන් රුපියල් බිලියන 4 ක මුදලක් ලබා දීම එම බැංකුව මගින් ප්‍රතික්ෂේප කර තිබු අතර එම නිසා ඉතිරි සියලුම මුදල් දැරිමට විදුලි සංදේශ නියාමන කොමිසමට සිදුවී තිබෙනවා.

ගිවිසුමට අත්සන් තැබූ චීනයේ ඔලිව් සමාගමට මෙම රුපියල් කෝටි දෙසීයක මුදල ශ්‍රී ලංකා රජය මගින් ගෙඩිය පිටින් ලබා දී තිබු බව ඇතැම් ප්‍රවෘත්ති වාර්තා පෙන්වා දුන්නා.

ඒ මුදලින් ඵලදායිතාවයක් නොමැති බව පෙනී ගිය නිසා ඒ පිළිබඳව ඇලීට් සමාගමෙන් විමසීමේ දී එවැනි සමාගමක් තිබූ බවටවත් තොරතුරක් සොයාගත නොහැකි වූ බව වාර්තා වනවා.

එවක චීන තානාපතිවරයා වශයෙන් සිටි කරුණාසේන කොඩිතුවක්කු මහතා වෙත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව දැනුම් දීමක් කරමින් අදාළ සමාගමේ ලිපිනය සොයා ගොස් කරුණු විමසන ලෙසට දන්වා තිබුණා.

මෙම බීජිං නගරයේ ලිපිනයක් සහිත ඇලිට් සමාගමේ හිමිකරු කවුද? මේ මුදල ලබා ගත්තේ කවුද? නැවත මුදල හිමිවේද? මේ කිසිදු ප්‍රශ්නයකට පිළිතුරක් මේ දක්වා නැහැ.

ලැබී ඇති තොරතුරු වලට අනුව අද දක්වාම එම සමාගම පිළිබඳව හෝ මුදල ගත් පුද්ගලයා පිළිබඳ තොරතුරක් නොමැති බව වාර්තා වනවා.

ඒ අනුව පැහැදිලි වන්නේ රටේ ජනතාවගේ සුභ සාධනය සඳහා යෙදවීමට හැකියාව තිබූ මෙම මුදල අදෘෂ්‍යමාන හස්තයක් විසින් ගිලිගෙන ඇති බවයි.

චීනයේ හෝ වෙනත් කිසිදු රටක ක්‍රියාත්මක නොවන සමාගමකට මෙම මුදල් ගෙවීමේ සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස විවිධ පාර්ශව වලින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇතත් මේ දක්ව ඊට විධිමත් පරීක්ෂණයක් සිදුව ඇත්ද යන්න ගැටළුවක්.
මුදල් වැය කළ යුතු දුප්පත්කම තුරන් කිරීම, අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන වැනි ප්‍රමුඛතා ලැයිස්තුවේ පවතින අංශවල වෙන් කළ හැකිව තිබූ මුදල් නොදන්න සමාගමකට ලබා දී ඇති බව පැහැදිලියි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කාබාසිනියා කිරීමට හවුල් වූ මෙම කුළුණෙන් වෙල මැද හිට වූ පඹයකුගෙන් සිදු වන සේවයක්වත් ලබා ගැනීමට නොහැකි වී ඇති අතර එය පවත්වා ගෙනයාමේ බරද ජනතාව මත පැටවී තිබීම කණගාටුවට කරුණක්.
මෙමගින් වංචා කළ කෝටි 200 ක මුදලින් රුපියල් 2500 බැගින් පවුල් ලක්ෂ 8කට සමෘද්ධි සහනාධාරය ලබා දිය හැකි බවට එවක මාධ්‍ය වාර්තා කර තිබීම අත යට ගැසිල්ලේ තරම කියාපානවා.

වර්ෂ දෙදහස් දහනවයෙදී නෙලුම් කුලුන නිල වශයෙන් විවෘත වන විටත් ඉදිකිරීම් මුළුමනින් අවසන් කිරීමට තවත් රුපියල් මිලියන 3000 ක මුදලක් අවශ්‍යව තිබුණු බව වාර්තා වනවා.

සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම ඉලක්ක කරගනිමින් ඉදි කරනු ලැබූ නෙළුම් කුලුනද අද රටට සුදු අලියෙක් වී අවසන්.
නෙළුම් මල සංකේතවත් කරනු ලබන්නේ පවිත්‍රත්වය වන නමුත් මෙම කුළුණ ඉදිකිරීමේදී ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ කිළිටි ආකාරයෙන් කටයුතු කර තිබීම කිසි සේත්ම අනුමත කළ හැක්කක් නොවයි.

කොරෝනා අර්බුදයත් සමග කිසිදු ආදායමක් නොලබන කුලුනක් සඳහා වසරකට රුපියල් කෝටි 240ක් ගෙවීමට සිදුව ඇති අතර වත්මන් ආර්ථික අර්බුදයත් සමඟ රට බරපතළ ප්‍රපාතයකට වැටී ඇති මේ මොහොතේ නෙළුම් කුලුන සඳහා ණය ගෙවීමට සිදුවී තිබීම කණගාටුවට කරුණක්.

ඒ අනුව මෙම කුළුණත් චීන ණය ගෙන සිදුකළ අමනෝඥ ක්‍රියාදාමයක ප්‍රථිපලයක් නම් කිව නොහැක්කේ කාටද?

RECENT ARTICLES - SINHALA

පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන...

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි...

දමිතගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...