34 C
Colombo
Friday, May 3, 2024

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල සම්බන්ධතාවය සවිබල ගැන්වීම

- Advertisement -

ලෝක බැංකු වාර්තා වලට අනුව, 2020 වන විට දකුණු ආසියා කලාපය තුල සිය ජනතාව සදහා  සියයට 100ක විදුලිබල ප්‍රවේශය ලබා දීමේදී භූතානය සහ මාලදිවයින සමඟ ශ්‍රී ලංකාව ද එහි ඉහළම මට්ටමට ළඟා වී ඇති බව පැහැදිලි වන කරුණක්. 

විදුලිය සඳහා ප්‍රවේශය ඉන්දියාවේ සියයට 99 ක්, බංග්ලාදේශයේ 96.2 ක් සහ පාකිස්තානයේ 75.4 ක් ලෙස දැක්වෙනවා. 

කෙසේ වෙතත්, පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යාම අනෙක් සියල්ල මෙන්ම දැඩි  අභියෝගයකට ලක්ව තිබෙනවා. 

මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාව විදුලිය නිපදවීම සඳහා බොහෝ දුරට ආනයනික ඉන්ධන මත යැපීමයි.

වර්තමානයේ ශ්‍රී ලංකාව විදුලිය ජනනය කරන්නේ ගල් අඟුරු , ඉන්ධන , ජල විදුලිය, සූර්ය බලය සහ සුළං බලය වැනි සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින්.

2030 වන විට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය මූලාශ්‍රවලින් උත්පාදනය කිරීම සඳහා ඉලක්කයක් තැබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පසුගිය රජය, දැනට පවතින මෙගාවොට් 4,043 (MW) සිට රටේ විදුලි ජනන ධාරිතාව ඉහළ නැංවීමට පසුගිය සමයේ අපේක්ෂා කළා.

පුනර්ජනනීය බලශක්තියේ සැලකිය යුතු වැඩි වීමක් සමඟ 6,900 MW. කින් ශ‍්‍රී ලංකාවේ ජනතාවට සියයට සියයක් විදුලිය ලබාදී ඉන් අනතුරුව ඉන්දියාවට විදුලිය අපනයනය කිරීම ගැන බොහෝ කතා කළද දැන් ඒවා පලක් වී නැහැ . 

ඒවා වර්තමානයේ මෙරට පවතින ආර්ථික තත්ත්වය සමඟ පුස් වෙඩිල්ලක තත්ත්වයට පත් වී තිබෙනවා.

මුළු මහවැලි හැරවුම් වැඩසටහන වසර 30කින් අවසන් කරද්දී ඉන්දියාවට විදුලිය අපනයනය කිරීමේ හැකියාව ගැන එවකට ශ්‍රී ලංකාවේ විදුලිබල හා වාරිමාර්ග ඇමැති මෛත්‍රීපාල සේනානායක මහතා 1976දී කතා කළත් ඒ සැම අද වන විට වචන වලට පමණක් සීමා වී තිබීම කණගාටුවට කරුණක්. 

ව්‍යාපෘතිය අවසන් වූ නමුත් හේතු ගණනාවක් නිසා ශ්‍රී ලංකාවට කිසිදා කිසිඳු රටකට විදුලිය අපනයනය කිරීමට නොහැකි වී තිබෙනවා.

විදුලි පරිභෝජනය වැඩිවීම සහ කර්මාන්ත අංශයේ ශීඝ්‍ර ව්‍යාප්තිය ඉන් සමහරක්.

ශ්‍රී ලංකාව දූපතක් වීමත් ඉන්දියාව සමඟ දේශසීමා බෙදා නොගැනීමත් දෙරටට විදුලිය උත්පාදනය බෙදා හදා ගැනීම අපහසු කිරීමට හේතු වී තිබෙනවා. 

ඉන්දියාව අසල්වැසි භූතානය, බංග්ලාදේශය සහ නේපාලය සමඟ විදුලිය වෙළඳාම් කරන බැවින් දේශසීමා හරහා විදුලිය වෙළඳාම ඉන්දියාවට අලුත් දෙයක් නොවෙයි. 

ඉන්දියාව දැනට එළැඹ ඇති  විදුලි වෙළඳ ගිවිසුම් ද්විපාර්ශ්වික ඒවා වන අතර සහභාගී වන ජාතීන්ට ඉන්  ප්‍රතිලාභ ලබා අත්කර දී තිබෙනවා.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත්  USAID ආයතනය  පවසන්නේ බංග්ලාදේශය සහ ඉන්දියාව අතර තවතවත්, දේශසීමා අන්තර් සම්බන්ධතා ඇති කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන බවයි. 

කලාපයේ ද්විපාර්ශ්වික විදුලි වෙළඳාමේ අත්දැකීම් මත , බලශක්ති අංශයේ සහයෝගීතාව සඳහා බහුපාර්ශ්වික රාමුවක් සකස් කළ හැකි බව විදෙස් වාර්තා වල සදහන්.

කලාපීය විදුලි සහයෝගීතාවයට, දේශසීමා යටිතල පහසුකම් බෙදා ගැනීම, කලාපීය බලශක්ති නිෂ්පාදකයින් පිහිටුවීම සහ කලාපීය වෙලඳපොලවල් හරහා තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම වැනි කරුණු ඇතුළත් විය හැකි වනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රචලිත ජල විදුලිය නිෂ්පාදන ක්‍රමවේද ඉන්දියාව සමඟ බෙදා ගැනීම ඉන්දියාවට විශේෂයෙන්ම තමිල්නාඩුවට ආදායම් උත්පාදනය සහ පහසු විදුලි ප්‍රවේශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් වනු ඇති බව විදෙස් වාර්තා වල සදහන්. 

රටවල් අතර විදුලි ජාල සම්බන්ධ කිරීමේ සැලසුම් මුලින්ම යෝජනා කෙරුනේ දශකයකට පමණ පෙර, ඉන්දියාව විසින් වන අතර ඒ  2010 දී ගිවිසුමක් අත්සන් කිරීමත් සමඟින්.

ඒ වන විට මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු රුපියල් බිලියන 40 ක පමණ මුදලක් ඇස්තමේන්තු කෙරුණා.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස පවතින විදුලිය ඇනහිටීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනය නංවාලීමේ ප්‍රධාන දිගුකාලීන මුලපිරීමක් ලෙස සැලකිය හැකි බව විදෙස් වාර්තා වල සදහන්.

කෙසේ වෙතත්, මේ වසරේ අපේ‍්‍රල් මස අගදී විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම් වසන්ත පෙරේරා රොයිටර් පුවත් සේවයට පැවසුවේ ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා ඉතා මූලික අදියරේ පවතින බවයි.

වාර්තාවලට අනුව, ව්‍යාපෘතිය සඳහා වූ ශක්‍යතා අධ්‍යයනයෙන් බලාපොරොත්තු වන්නේ සේතුසමුද්‍රම් ඇළ හරහා මීටර් 500 ක දුරක්  මුහුදු මට්ටමේ සිට මීටර් 25 ක් ගැඹුරට කේබල් එලීමයි.

ඉන්දු-ශ්‍රී ලංකා විදුලිබල ජාල අන්තර් සම්බන්ධතාව කිලෝමීටර් 120 ක මුහුදු මාර්ගය ඇතුළුව කිලෝමීටර් 360 ක මාර්ග ඔස්සේ විහිදී යනු ඇති.

මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ උතුරු-මැද පළාතේ අනුරාධපුරයේ සිට තමිල්නාඩුවේ මදුරෙයි දක්වා සම්ප්‍රේෂණ මාර්ගයක් අපේක්ෂා කෙරෙනවා.

මේ අතර, එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ ජාතික පුනර්ජනනීය බලශක්ති රසායනාගාරය (NREL) විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ දෙරට අතර 500MW අධි වෝල්ටීයතා සෘජු ධාරා සම්ප්‍රේෂණ මාර්ගයක් වාර්ෂිකව ඩොලර් මිලියන 180 ක් ඉතිරි කර 2025 වන විට බලශක්ති  මෙහෙයුම් පද්ධති වැඩිදියුණු කළ හැකි බවයි. 

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් මෙරට වාර්ෂික විදුලිය නිෂ්පාදන පිරිවැය 35% කින් අඩුවන බව  NREL අධ්‍යයනය සඳහන් කරනවා. 

ජාල සම්බන්ධතාවය රටවල් දෙකෙහිම පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩි දියුණු කරන බව ද අධ්‍යයනයෙන් පෙන්වා දී ඇති තවත් කරුණක්.

මේ අතර, ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන  ආකාරයක් පෙන්නුම් කෙරෙන බව සහ විදෙස් වාර්තා වල සදහන්.

ඒ අනුව යාපනයට ඔබ්බෙන් වූ දූපත් තුනක දෙමුහුන් බලාගාර ව්‍යාපෘති පිහිටුවීම සඳහා ඉන්දියාව මේ වසරේ මාර්තු මස අගදී ශ්‍රී ලංකාව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා.

ව්‍යාපෘතිය සඳහා වූ අවබෝධතා ගිවිසුම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්ගේ සංචාරයකදී සිදුවූණා.

නැගෙනහිර සාම්පූර් නගරයේ ජාතික තාප විදුලි , සූර්ය බල ව්‍යාපාරය සහ උතුරේ මන්නාරම සහ පුනරීන් හි අදානි සමූහයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා මෑත කාලීන ගිවිසුම්වලින් පසුව ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවලට පැමිණෙන තෙවැනි ඉන්දීය බලශක්ති ව්‍යාපෘතිය එයයි.

ඒ අනුව මේ බැරෑරුම් මොහොතේ දී අප තේරුම් ගත යුතු සත්‍ය නම්, ඉදිරියේ දී වත් මෙරට තුල විදුලි සැපයුම අඛණ්ඩ පවත්වාගෙන යාම සදහා මෙවැනි ව්‍යාපෘතියකට යොමුවීම හිතකර බවයි.

RECENT ARTICLES - SINHALA

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...