27 C
Colombo
Friday, May 3, 2024

ශමෙල් ජයකොඩිගේ ‘කුමර කොබෙයි ‘

- Advertisement -

“අරුන්දතී ඒ ගැන මුකුත් හිතන්න එපා .ගෑනු කවදත් හැරෙන්නේ තමන් දිහාට …පිරිමි හැරෙන්නේ ලෝකය දිහාට …ඒකනේ අපේ මහත්තුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරද්දි අපි සලාද හදන්නේ…”පුංචි අම්මා විහිළු කළා ය.ශමෙල් ජයකොඩිගේ ‘කුමර කොබෙයි ‘ නවකතාව තුළ ආ යථෝක්ත උද්ධෘතය මා උද්ධරණය කළේ නවකතාව අසීමිත තෘප්තියකින් කියවා අවසන් කොට පසෙක තැබුව ද හදවතෙහි ගැඹුරෙහි ම තැන්පත් වූ අපූර්ව ස්පන්දනයක් මතුළ ජනිත කළ බැවිනි .අන්තර්ජාලය ඔස්සේ හමු වූ කාලිංග නමැ’ති පියවි ඇසින් නො දුටු පෙම්වතා සොයාගෙන මහාද්වීපික ගමනක යෙදෙන ඉන්දිකාගේ ප්‍රේම තීර්ථ යාත්‍රාව පාඨකයා ව වෙන ම ලෝකයකට ගෙන යයි.නවකතාවේ පසුපිටෙහි දැක්වෙන පරිදි ම කොදෙව්වක උපන් මිනිසුන් මහාද්වීපයක් මත අතහරියි.

සිය හොඳ ම මිතුරිය,නිර්මලා සහ ඇගේ මිතුරිය ,අරුන්දතී සමඟ ඉන්දිකාගේ මේ පෙම්සැරිය මනුෂ්‍ය ජීවිතයේ යථාරූපී අධිවේගී ගමනාගමනය සාහිත්‍යාත්මක ව අවලෝකනයට හසුකර ගනී.මිනිසා උපතේ සිට මරණය දක්වා ම යමක් සොයා හැල්මේ දුවයි.ඒ කුමක්දැ’යි නිශ්චිත ව කීමේ ශක්‍යතාවක් මරණය තෙක් ම ඔවුන්ට නොමැ’ත.එහෙත් ඒ සන්තුෂ්ටිය විය යුතු ය.එක් එක් පුද්ගල අධ්‍යාත්මයන් මේ ධර්මතාව ගවේෂණය කරනුයේ එක් එක් ආකාරයෙනි.ඕනෑ ම දාමරිකයකු තුළ පවා ආදරය ,ප්‍රේමය සතු කරගැනීමේ අවිඥානික ලාලසාවක් ගැබ් ව පවතී.ඉන්දිකා ද මේ අපූර්ව ,සුමුදු ,අමුතු ප්‍රපංචය සොයා යනුයේ අනල්ප අභීෂ්ටත්වයකිනි.කුමන භෞතික සුඛවිහරණයන්ගෙන් ආඪ්‍ය ජීවිතයකට වුව ද,ආධ්‍යාත්මික ප්‍රේමයේ මහිමාව,සෞන්දර්‍යය වින්දනය කිරීමට අවකාශ නො ලැබෙනුයේ නම්,ඒ අපරිපූර්ණ,හිස්,නිස්සාර ජීවිතයක් බවට සැකයක් නැති .මහාද්වීපයක් හරහා යන ගමනේ දී ඉන්දිකාට බාහිර ලෝකය අරභයා මතු නො ව,සිය හදැති මිතුරියන්ගේ ජීවිතයන්හි ආභ්‍යන්තරික ගූඪස්ථානයන් ද,සැඟවුණු කාල කුහරයන් ද අනාවරණය වේ.සතියක වෙහෙසකර වූත් ,බහුවර්ණ වූත් සංචාරයට ගමනාන්තයක් පවතින බව ඇතැමෙකුට හැඟී යාමට ඉඩ ඇත්තේ ඉන්දිකාට කාලිංග ව හමුවීමත් සමඟ නවකතාව අවසන් වන හෙයිනි

එහෙත් යථාව වූකලී ඊට කිසිසේත් ම කෙළවරක් නොමැ’ති බව යි .ජීවිතය වනාහි නැඟීම්-බැසීම් සමූහයක් විනා අන් යමක් නො වේ.එය ඇත්තේ විඳීමට විනා විඳවීමට ද නො වේ.ඉන්දිකා මතු නො ව ,මෙලොව වසන සියල්ලෝ ම එය විඳීමට කැමැත්තෝ ය .එහෙත් බාහුල්‍යය ඉච්ඡා භංගයන් වීම සර්ව සාධාරණ ස්වභාවය යි .කාලිංගගේ හමුවීමෙන් එහා ජීවිතය අරභයා අපට අධිවිනිශ්චයන් මත පිහිටා උපකල්පන ඉදිරිපත් කළ නො හැකි ය.

සමහරවිට එහි කෙළවර ඛේදාන්තයක් වීමට ඉඩ තිබේ.එහෙත් වින්දන සම්ප්‍රහර්ෂය යථාවෙන් ඈත් කරවන උත්තේජක එන්නතකි.කතුවරියගේ භාෂා භාවිතය ,සංයමය ආත්මය කරගත්තකි.ඇගේ උද්දේශය ලිංගිකත්වය සැඟවිය යුතු තැනකට තල්ලු කරන්නක් නො වේ.ලිංගික භාව පූර්ණ අනුභූතියකි.එහෙත් ලේඛිකාව දැඩි ස්වයං වාරණ පනවා ගන්නී ය.එහෙත් සාවධාන ව කෘතිය කියවන්නකුට හැඟෙනුයේ නවකතාව ආරම්භයේ සිට අවසානය දක්වා ම එහි යටිපෙළ ඔස්සේ සියුම් හුයක් සේ නො නිම් ව දිවයන ගෙවා දමා ඇති වයසට අහිමි වී ගිය කාය සන්තර්පණයන්ගේ පරිදේවයේ දෝංකාරය යි .ඒ ඉන්දිකාට පමණක් නො ව ,අරුන්දතීට හා නිර්මලාට ද පොදු වූවකි.පුරුෂාධිපත්‍යය ඉදිරියේ නිහඬ ව සියල්ල ඉවසා විඳ දරාගන්නා විශ්වවාසී ගැහැනුන්ගේ අවිහිංසක අඳෝනාව ඔවුන්ගේ හදතත් ඒකමිතිය පිරිමදිමින් එක් තැනකට ගොනු කරනුයේ හෘද භාෂාව උපයුක්ත කරගනිමිනි .ඇය යොදා ගන්නා දෙබස් සියල්ල ජීවන යථාර්ථය පිළිබඳ ව කතුවරියගේ ස්වයං නිරීක්ෂණයන් හා ඒ ඔස්සේ ගොඩනඟා ගත් ජීවන දර්ශනය කැටිකරගනියි.

ඇගේ උත්ප්‍රාසාත්මක වදන් පවා එකී ජීවන ගැඹුර ඉසියුම් ව ස්පර්ශ කරන ආත්මීය ගුණයකින් යුක්ත වෙයි.ඇතැම් විට ඇගේ වෘත්තීමය තත්ත්වය ද ඊට බලපානු විය හැකි ය .විවිධ රටවල ලාක්ෂණික සංස්කෘතීන් පිළිබඳ ව කතුවරියගේ අපූර්ව විස්තර වර්ණනා කිසිසේත් ම නවකතාවේ ගලායාම හෝ අඛණ්ඩ ඒකමිතිය ඛණ්ඩනය නො කරයි.ඊට හේතුව ශමෙල්ගේ දැඩි ස්වීය පාලනය යි .ඇය ස්ව සීමාව තුළ භූමිකාව තත්වානුරූපී ව රූපණය කරයි .කතුවරිය පාඨකයා ව අමුතු ම ලෝකයකට ගෙන ගොස් ඉතා අසාධාරණ ලෙස අත් හැර දමයි.ඒ චමත්කාරජනක රසාවේශය පාඨක සන්තානය අත්දැකීම්හි ජීව ගුණයන්ගෙන් පුරවාලයි.අවසන හැඟෙනුයේ පරිවර්තනයක් කියවා අවසන් කළ තරමේ අපූර්ව භාව සන්තර්පණයකි.

නවකතාකාරිනියක ලෙස ශමෙල් පරිපාකයට පත් ව ඇති බැව් හඟවන ‘කුමර කොබෙයි ‘ සිර වූ මනුෂ්‍ය හදවත්වලට ජීවන සන්තුෂ්ටිය සොයා නිදහසේ පියාඹන්නට පොළඹවමින් හදවත් ද්වාරය විවර කරවාලයි.ඒ බව කෘතියේ එක්තරා තැනක නවකතාකාරිනිය අරුන්දතීගේ මුව’ගට නංවනුයේ මෙලෙසිනි .”හැම දෙයක් ම කරන හරි විදිහක් තියෙනවා ..වැරදි විදිහකුත් තියෙනවා ..ඒත් අපි අමතක කරන්න හොඳ නැහැ අපිට අපේ විදිහකුත් තියෙනවා කියල ..”ඒ මගේ විදිහෙන් ම ඉදිරියේ දී ද අපි ශමෙල්ගේ ආත්මීය හෘද නිර්වචන බලාපොරොත්තු වෙන්නෙමු.

-දිලංක දිද්දෙණිය-

RECENT ARTICLES - SINHALA

දමිතගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර...

රට පුරා වෛරස් තත්ත්වයක්. නැවත මුඛ ආවරණ පලඳින ලෙසට උපදෙස්

උතුරු මැද පළාතේ ඇතුළුව රට පුරා මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගය වෛරස් තත්ත්වයක් බැවින් හැකිතාක් කණ්ඩායම් වශයෙන් එකතු වීමෙන් වළකින ලෙසත් සමූහ...

මහවැලි ඉඩම්වල කිසිම නීතිවිරෝධී ක්‍රියාවක් කරන්න දෙන්නෙ නැහැ – රාජ්‍ය අමාත්‍ය ලොහාන්

මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ‌ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසනවා. රාජ්‍ය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...