26 C
Colombo
Sunday, May 19, 2024

ඉන්දියාව හා ලංකාව අතර විදුලි රැහැන්, තෙල් නල – බලශක්ති සබඳතාවයේ ඊළඟ මානය

- Advertisement -

“අපේ බැඳීම් අපේ ශිෂ්ටාචාර තරමටම පෞරාණිකයි, පුළුල්යි. ඉන්දියාවේ “අසල්වැසියා පළමුව” ප්‍රතිපත්තිය සහ “සාගර්” දැක්ම යන දෙකෙහිම ශ්‍රී ලංකාවට වැදගත් ස්ථානයක් හිමිවනවා. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අවශ්‍යතා සහ සංවර්ධනය එකිනෙකට බැඳී පවතින බව අපි විශ්වාස කරමු. එබැවින් එකිනෙකාගේ ආරක්‍ෂාව සහ සංවේදිතාවන් පිළිබඳව අප එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි” ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙසේ පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග නවදිල්ලියේ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡවේදීයි.

මෙරට සංවර්ධනය තුල වැදගත් තැනක් බලශක්ති ක්ෂේත්‍රයට හිමිවන්නේ වැඩිවන බලශක්ති ඉල්ලුමත් සමග නව බලාගර ඉදිකිරීම සහ විකල්ප බලශක්ති ප්‍රභවයන් පිළිබඳ ගවේෂණය ඉතා වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය වන නිසාවෙන්. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙවර ඉන්දීය සංචාරය තුල දෙරට අතර බලශක්ති සබඳතාව පුලුල් කිරීම සඳහා මුලපිරීම් ගණනාවක් ප්‍රකාශයට පත් කෙරුණා. එම මුලපිරීම් රටක් ලෙස මෙරට බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීම පමණක් නොව බලශක්තිය විදේශ විනිමය උත්පාදන ප්‍රභවයක් බවට පත් කර ගැනීම ද ඉලක්ක කොට තිබෙනවා.

දෙරට අතර බලශක්ති සබඳතාව සම්බන්ධයෙන් සිදු කෙරුණු සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මෙලෙස සම්පිණ්ඩනය කළා.

“හරිත ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමුඛතා සහ ගෝලීය කැපවීම්වලට අනුකූලව, බලශක්ති සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා, හරිත හා පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා ඉන්දියාව සමඟ හවුල් වීම ඉතා වටිනා අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාව දකිනවා. මෙම සන්දර්භය තුළ, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුම සාර්ථක කර ගැනීම තුළින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අධි ධාරිතා විදුලි අන්තර් සම්බන්ධතා ජාලයක් ස්ථාපිත කිරීමට හැකි වන අතර එමඟින් දෙරට අතර ද්වි-මාර්ග විදුලි බල වෙළෙඳපොළට අවකාශ හිමි වෙනවා. ඉන්දියාවේ සහය ඇතිව ත්‍රිකුණාමලය ශ්‍රී ලංකාවේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සහ කර්මාන්ත සහ අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ද ත්‍රිකුණාමලය කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ගැනීම ශ්‍රී ලංකාවේ තීරණාත්මක ඉලක්කයක් වනවා. ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නළ මාර්ගයක් ඉදිකිරීම, ශ්‍රී ලංකාව වෙත දැරිය හැකි සහ විශ්වාසදායක බලශක්ති සම්පත් සැපයුමක් සහතික කරනු ඇති බව අග්‍රාමාත්‍ය මෝදි සහ මම විශ්වාස කරනවා.”

මේ අතරින් වඩාත් කතා බහට ලක් වූ මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ යෝජිත ඉන්දු-ලංකා ඛණිජ තෙල් නල මාර්ග ව්‍යාපෘතියයි. ශ්‍රී ලංකාවේ බලශක්ති වෙළෙඳපොළට සහය දැක්වීම සඳහා ඉන්දියාවට වඩාත් ලාභදායී විසඳුමක් ලෙස මෙම නල මාර්ගය යෝජනා කර තිබෙනවා.
යෝජිත ඉන්දු-ලංකා ඛණිජ තෙල් නල මාර්ග ව්‍යාපෘතිය හුමාලයෙන් එකතු වෙමින් පවතින අතර, පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය දෙදින සංචාරයේ දී සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන මාතෘකාවක් වූයේ බලශක්ති සුරක්ෂිතතාවයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසන පරිදි යෝජිත ඉන්දු – ලංකා ඛනිජ තෙල් නල මාර්ගය පිළිබඳව නවදිල්ලි නුවර පැවති ඉහළ පෙළේ ද්විපාර්ශ්වික හමුවේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

“දෙරට අතර ආර්ථික සහ බලශක්ති සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා නවදිල්ලි නුවර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ දූත පිරිස බලශක්ති සහයෝගිතා ප්‍රතිපත්ති සැලසුම් සහ ආයෝජන පිළිබඳව සාකච්ඡා කළා… ඉන්දියාව – ශ්‍රී ලංකා ජාල සම්බන්ධතාව, හරිත හයිඩ්‍රජන්, තෙල් නල මාර්ග සම්බන්ධතාව සහ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදි, ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ ආයෝජකයින් සමඟ පැවති හමුවලදී සාකච්ඡා කෙරුණා.,” විජේසේකර අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් පැවසුවා.

මෙම ව්‍යාපෘතිය අනුමත වුවහොත් එය ශ්‍රී ලංකාවේ පළමු මුහුද යටින් දිවෙන තෙල් නල ව්‍යාපෘතිය වන අතර ත්‍රිකුණාමලයට සහ කොළඹට ප්‍රවාහනය කළ හැකි ස්ථාන දෙකක් සහිත නල මාර්ගය හරහා පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් ශ්‍රී ලංකාවට පොම්ප කිරීම මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරෙනවා.
කාවේරි ද්‍රෝණියේ, නාගපට්ටිනම්හි ඉදි කර ඇති නව පිරිපහදුවෙන් ශ්‍රී ලංකාවට බහු-පෙට්‍රෝලියම් නිෂ්පාදන නල මාර්ගයක් ඉදිකිරීම සඳහා ඉන්දීය තෙල් සමාගම (IOC) යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ ජනාධිපතිවරයාගේ නිල සංචාරයටත් පෙර සිටයි. මීට මාස කිහිපයකට පෙර ඉන්දීය බලශක්ති ලේකම්වරයා IOC නියෝජිත පිරිසක් සමඟ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙම නල මාර්ගය සඳහා යෝජනාව ඉදිරිපත් කර තිබුණා. එම යෝජනාව අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද ශ්‍රී ලංකාව මූලික පියවර ගෙන ඇති බවට වාර්තා පළවුණා.

පෙට්‍රෝලියම් නල මාර්ග තැනීමේ IOC හි අත්දැකීම් පිළිබඳ විමසීමේදී, සමාගමට තෙල් නල මාර්ග තැනීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු අත්දැකීම් ඇති බවට ඉන්දීය භූමිය තුළ නිදසුන් බොහෝයි. නල මාර්ග ඛනිජ තෙල් නිෂ්පාදන ප්‍රවාහනය කිරීමේ ආරක්ෂිතම සහ ලාභදායි ක්‍රමය බවට ද සැලකෙනවා. IOC ඉන්දියානු වෙළෙඳපොළෙන් 55%ක් පමණ සපයන එහි විශාලතම ඛනිජතෙල් සැපයුම්කරු වනවා. කිලෝ මීටර් 15,000කට වඩා දිගින් යුක්ත ලෝකයේ සමාගමකට අයත් විශාලතම නල මාර්ග ව්‍යුහය පවතින්නේ IOC සතුවයි.

ඛනිජ තෙල් නිෂ්පාදන විශාල ප්‍රමාණයක් පරිහරණය කිරීමේදී නළ මාර්ග වඩාත් සුදුසු ක්‍රමය වන අතර කඩාකප්පල්කාරී ක්‍රියා හෝ බාහිර අනතුරු, නොගිනිය හැකි තරම් කුඩායි. එමෙන්ම පරිසර හිතකාමී අතින් ද එය වඩාත් සුදුසු වනවා. නල මාර්ග ක්‍රමයට අවශ්‍ය වන්නේ අඩු මිනිස් ශ්‍රමයක්. නමුත් එහි කාර්යක්ෂමතාව උපරිම වනවා. ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් අවශ්‍යතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන 4ක් පමණ වන බැවින් නව පිරිපහදුවක් ඉදිකිරීමට වඩා නල මාර්ග ව්‍යාපෘතිය වඩා ලාබදායී වනු ඇති බව බලශක්ති විශේෂඥයින් පෙන්වා දෙනවා.
යෝජිත නල මාර්ගය කිලෝ මීටර් 600ක දිගින් යුක්ත වනු ඇති බවට මූලික අධ්‍යයන අනුව අනුමාන කර ඇති අතර පෝක් සමුද්‍ර සන්ධිය ඔස්සේ මුහුද යටින් දිවෙන නල මාර්ග කොටසේ දිග මීටර් 70ක් පමණ වනු ඇති. ත්‍රිකුණාමලයට තෙල් සැපයීම සඳහා වව්නියාව ප්‍රදේශයෙන් T point (Tap off point) එකක් ඉදිකරනු ඇති අතර නල මාර්ගය කොළඹ තෙක් දිගු වනවා.

මීට අමතරව බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් වන තවත් මුලපිරීම් කිහිපයක්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරය අවසානයේ ප්‍රකාශයට පත් කෙරුණු ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්මෙහි සඳහන් වනවා.
පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කිරීමේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමේ නිගමනයන්ට අනුව සුළං සහ සූර්ය බලය ඇතුළුව ශ්‍රී ලංකාවේ සැලකිය යුතු පුනර්ජනනීය බලශක්ති විභවයන් වර්ධනය වනු ඇති අතර එමඟින් 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ජනනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බව එහි සඳහන්.
ශ්‍රී ලංකාව සහ BBIN (බංගලාදේශය, භූතානය, ඉන්දියාව සහ නේපාලය) රටවල් ඇතුළු අනෙකුත් කලාපීය රටවල් අතර ද්විපාර්ශ්වික විදුලිබල වෙළඳපොළ සක්‍රීය කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ ධාරිතාවකින් යුත් බලශක්ති ජාල අන්තර් සම්බන්ධතාවයක් ඇති කිරීම, ශ්‍රී ලංකාවේ විදුලිබල පිරිවැය අඩු කිරීමට පමණක් නොව ශ්‍රී ලංකාව සඳහා වටිනා සහ විශ්වාසනීය විදේශ විනිමය මූලාශ්‍රයක් නිර්මාණය කිරීමට උපකාර කිරීමටද එමගින් හැකියාව ඇති බව දෙරටේ අදහසයි.

සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) යටිතල පහසුකම් පිළිබඳව ඇතිකරගත් එකඟතාව ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීම සහ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය තුළ පුනර්ජනනීය බලශක්ති මිශ්‍රණයන් උත්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් නව්‍ය තාක්ෂණයන් භාවිතයෙන් හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා ගවේෂණයට ද දෙරටේ නායකයින් එකඟතාව පළ කර තිබෙනවා.
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පර්යන්තය සංවර්ධනය කිරීමේ අඛණ්ඩ සහයෝගීතාවය එම ප්‍රදේශයේ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතා ව්‍යාපෘති සංවර්ධනය කිරීමේ දෙරටේ උත්සාහයේ පිළිබිඹුවක් වන අතර අන්‍යෝන්‍ය අවබෝධය මත කර්මාන්ත, බලශක්ති සහ ආර්ථික ක්‍රියාකාරකම්වල ජාතික හා කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය තවදුරටත් සංවර්ධනය කිරීමට එකඟ වූ බව ආර්ථික හවුල්කාරීත්ව දැක්මේ සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...