මෙරට නිෂ්පාදිත ‘ඌළි’ (Oozhi: A Dark Age) චිත්‍රපටිය මෙරට තුළ ප්‍රදර්ශනය කිරීමට රැගුම් පාලක මණ්ඩලය මේ දක්වා අනුමැතිය ලබා දී නොමැති බව එහි අධ්‍යක්ෂ රංජිත් ජෝශප් පවසනවා.
මෙම චිත්‍රපටිය අද (10) සිට ප්‍රදර්ශනය කිරීමටයි ඔවුන් කටයුතු කර තිබුණා.
මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ඊයේ (09) දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීම සඳහා අනුමැතිය ඉල්ලා පසුගිය මැයි මස 06 වැනිදා ඔවුන් වෙත ඉදිරිපත් කළ බවයි.
ඒ අනුව, රැගුම් පාලක මණ්ඩලය විසින් පසුගිය 08 වැනිදා චිත්‍රපටිය නරඹා ඇති බව සඳහන්.
කෙසේවෙතත්, පැය 48ක් ගත වී තිබුණ ද ඊට තවමත් ප්‍රතිචාර ලැබී නොමැති බව ද අධ්‍යක්ෂවරයා පවසනවා.
එමෙන්ම, මෙම චිත්‍රපටය සඳහා අනුමැතිය ලැබෙනු ඇතැයි විශ්වාසයෙන් එය ප්‍රදර්ශනය කිරීමේ කටයුතු එහි නිෂ්පාදකයන් විසින් සූදානම් කර තිබුණා.
කෙසේවෙතත්, අද (10) දිවා කාලය දක්වා ප්‍රදර්ශනය සඳහා අනුමැතිය හිමි ව නැහැ.
මෙරට කලාකරුවන්ගේ දායකත්වයෙන් නිෂ්පාදනය කෙරුණු මෙම චිත්‍රපටිය ලොව පුරා රටවල් 11ක තිරගත කිරීමට නියමිතයි.
එය, චිත්‍රපටි ශාලා 27ක දර්ශන වාර් 81ක් තිරගත කෙරෙන බවයි, අධ්‍යක්ෂ රංජිත් ජෝශප් සඳහන් කළේ.
ඒ අනුව, ප්‍රංශය, නෝර්වේ, එක්සත් රාජධානිය, ජර්මනිය, ඩෙන්මාර්ක්, ඉතාලි, ස්වීට්සර්ලන්තය, කැනඩා, එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව යන රටවල ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
මෙරට තුළ ත්‍රිකුණාමලය, මඩකලපුව, වව්නියාව සහ යාපනය යන ප්‍රදේශවල මෙම චිත්‍රපටිය තිරගත කිරීමට සැලැසුම් කර තිබුණා.
මෙම චිත්‍රපටියේ දෙබස රචනය ලේඛක දීපචෙල්වන් විසින් සිදු කර තිබීමත් විශේෂත්වයක්.
බලහත්කාරයෙන් අතුරුදන් කරවීමේ සිද්ධියක් මෙම චිත්‍රපටියේ වස්තු විෂය වී ඇති බවයි, එහි අධ්‍යක්ෂ රංජිත් ජෝශප් වැඩිදුරටත් කියා සිටියේ.