29 C
Colombo
Wednesday, March 29, 2023

‘ලයනල් ප්‍රනාන්දු’ දෙස හැරී බැලීමි! – හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු

- Advertisement -

තරිඳු උඩුවරගෙදරගේ  ‘ලයනල් ප්‍රනාන්දු’ චරිතාදාපනය විගසින් කියවීමි. ඊට මුලින්ම හේතුවුයේ, ලයනල් ප්‍රනාන්දු අවුරුදු හතළිහකට වඩා ඇසුරු කළ සහෘදයෙකු වීමය. දෙවැන්න, අප ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් ලෙස හා අන් අන්දමින් ක්‍රියාකර තිබීම නිසා ඔහුගේ චරිතාදාපනයක් යනු මගේද හදවතට, ජීවිතයට ආසන්න සිද්ධීන්ගෙන් බැඳීමය. තෙවැන්න, බොහෝ රජයේ සේවකයින්ට නැති ප්‍රවේශයන්ගෙන් තනතුරු හොබවා, අත්දැකීම් බහුලව, ක්ෂේත්‍ර රාශියක නියැලී පරිපූර්ණ වුවෙකු ග්‍රන්ථය තුලින් මා සමුවන විශ්වාසයෙනි. 

මෙම චරිතාදාපන සැකැස්ම උත්තම පුරුෂයෙනි. එහෙත් රචනා ශෛලියෙන් අන්තර්ගතයට හානියක් නොවීමෙන් තරිඳුගේ ග්‍රන්ථාකරණ කෞශල්‍යය විදහා දක්වයි. 

චරිතාදාපනයක තිබිය යුතු ලක්ෂණයකි ප්‍රධාන චරිතය ඉස්මතු කිරීම. ඊට උචිත තොරතුරු ඉදිරිපත් කිරීමත්,  තොතුරු සත්‍ය අවස්ථා මගින් සනාථයද කළ යුතුවේ. මෙම ලක්ෂණ පොතේ දිගටම පෙනේ.    

අඩුවක් ඇත්නම් ඒ වැඩිපුර වශයෙන් නිලමය යොමු සඳහන් නොවීමය. දෙවැන්නක් නම් සමාජමය හා දේශපාලන අගය පහසුවෙන් උද්දීපනය කළහැකිව තිබුණු සමහර විෂයයන් වෙත අවධානය අඩුවීමය. හොඳම උදාහරණය ‘කළු ජුලිය’ට පිටු හතකින් යුත් පරිච්චේදයෙන් කලුජුලි සිද්ධීන්ට යොදාගන්නේ පිටු අඩකටත් අඩුවෙනි. ඔහුගේ අති-සානුකම්පික භාවයට බඳුන්වූ ද්‍රවිඩ ජනතාව කෙරෙහි එහි බලපෑම සලකනවිට වැඩි අවධානයක් ඊට යොමුවිය යුතුව තිබුනැයි සිතේ. බොහෝ දෑ අපගේත්, ඔහුගේත් ජීවිතවලට ආසන්න බව කැපී පෙනීමට ග්‍රන්ථය රචිත හෙයිනි.  ඊට හොඳම උද්දෘත ද්‍රවිඩ ජනතාවටවූ ගැහැට හා ආදරණීය බිරිඳ පිළිබඳව අදහස් ගලායන අන්දමින් පෙනේ.     

රාජ්‍ය සේවස්ථ නිලධාරීන්ට වටිනා පාඩම් රාශියක් ලයනල්ගෙන් උගත හැකිවීම ඔවුන් ග්‍රන්ථය පරිශීලනයට පොළඹවන සුළුයි.   

“පරණ තාලේ” අපට රැකියා ලැබුනේ බාහිර බලපෑම් තොරවය. මාණ්ඩලික ශ්‍රේණියක සේවය කරන අතරතුර රජයේ මාණ්ඩලික රැකියා හතරක් ලයනල්ට ලැබීමේ භාග්‍යය වර්තමාන උපාධිධාරයෙකුට ඊර්ෂ්‍යාවක් ඇතිවනු ඇත. වැඩි වැටුප වෙනුවට ඩීආර්ඕ  තනතුරෙහි සිටීමට ලයනල්ගේ තීරණය රැකියා වෙළඳපොළේ විපරීතය ගැන අමුතු විවරණයක් සපයයි.

හේවාහැට ඩීආර්ඕ වූ පී. තෙන්නකොන්ගෙන් ලද අභාසය මගින්වූ අභිප්‍රේරණය නිසා ඔහු ඩීආර්ඕ තනතුරට බැඳුණි. පෞද්ගලික අංශය විසින් දෙන වැටුප්, පහසුකම් හා අවස්ථා එවන් සිතිවිල්ලකට අද උපාධිධරයෙකු පත් නොකරවයි. අද අඩු දීමනාවකට හෝ වැටුපකට උපාධිධාරීන් රක්ෂා බාරගන්නාවිට රැකියා වෙලඳපොලේ කුනුකොල්ලයක් වෙතැයි සිතීමට ඉඩසලසයි.   

 ඔහුගේ රාජකාරි දිවිය තුල ජනාධිපතිවරුන්, දෙටු දේශපාලනඥයින් සමගවූ සම්බන්ධතා විස්තරාමකව පොතෙහි කියැවේ. ඒවාද  අන්‍යයන්ට ඉගෙනීමට ඉඩ සලසයි. ජනාධිපති ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස, රොනී ද මෙල්, ලක්ෂ්මන් කදිරගාමර්, ලලිත් ඇතුලත්මුදලි, රාජා සමරනායක ඇමතිවරුන් සමග රාජකාරිකිරීම හා තෘප්තිය ඔහු හුවා දක්වයි. 

ඔවුන් අතුරින්  කදිරගාමර්, ඇතුලත්මුදලි, සමරනායක ඇමතිවරුන්ව  ඔහු ඉහල මිම්මකින් අගයයි. රොනී ද මෙල්, ආර් ප්‍රේමදාස, මෛත්‍රිපාල සිරිසේන චරිත ඔහුට ප්‍රියමනාප නොවූ බව ඍජුවම පවසයි.  

අද අප දකින රාජ්‍ය සේවකයින් “දාස භාවයට” පත්කර ඇතිය යන චෝදනා මධ්‍යයේ, රාජ්‍ය සේවකයින් එසේ නොවිය යුතුය යන ස්ථාවරය තරයේ කාවැද්දීමට කරුණු දැක්වීමක ලයනල් කිහිප තැනකම නියැලෙයි. ඒ සඳහා ක්‍රමෝපායන් ඇතිබව ඔහු මැනවින් ඔප්පු කරන්නේ ෆිලික්ස් ඩයස් ඇමතිවරයා ‘නංමවා’ ගැනීම හා රොනී ද මෙල් ඇමතිවරයාට එරෙහිවූ අන්දම ආදිය විස්තරයෙනි. සැකයෙන් තොරව ජනාධිපතීන්වූ ප්‍රේමදාස හා  සිරිසේන සමගවූ ප්‍රශ්න ලයනල් සසල කර ඇත. එවන් අත්දැකීම් ලබන, එහෙත් ඒ බව නොපවසන නිලධාරීන් සිටින සමයක ලිවීම රචනයේ අගය වැඩිකරයි.  

ලයනල්ගේ රාජකාරි දිවියේදී දමිල ජනයා කෙරෙහි දැඩි සානුකම්පිතයක් දක්වයි. යාපනයේ සේවා කාලය, වැල්ලවත්තේ රාජසිංහ මාවතේ දිවිගෙවීමත්, සාම සාකච්චාවලට  තෝරාගැනීම, කණ්ඩායම තුලින් කැපී පෙනීමත් ආදිය මේ සඳහා ඔහු යොදාගනී.  වෙනස්කම්වලට ලක්වන ජනකණ්ඩායම් හා ඔවුන්ගේ දුක්දොම්නස් කියවන අපට ඔවුන් කෙරෙහි රාජ්‍ය සේවකයින් ප්‍රතිචාර වියහැකි විධීන් ගැන පාඩම් ලයනල් කියාදෙයි. එහෙයින්ම ‘ලයනල් ප්‍රනාන්දු’ ග්‍රන්ථය රාජ්‍ය සේවක පරිශීලනයට අතිශයින්ම සුදුසුය.  

ග්‍රන්ථය පුරාම පැහැදිලිවම දක්නට ඇත්තේ, හදවතට එකඟව, සත්‍යයට බරවීමයි. තරිඳු කලින්ම පවසන අන්දමට පොතෙහි අන්තර්ගතය “කුණු ගොඩවල්” ඇවිස්සීම නොවේ. එසේම පොත ආරම්භයේදීම ලයනල් තම දිළිඳු ප්‍රභවය නොසඟවා රචනය අවංකභාවය ප්‍රතිමූර්ති කරයි. පාසල් ගාස්තු ගෙවා ගැනීමට පවා අපහසුවීම, තම සොහොයුරාගේ ආධාරකවීම සඳහන් කරයි. තමන්ට ලැබුණු ‘පොකට් මනි’ මවට දුන් අන්දම සැනසීමෙන් ඔහු පවසයි. පාසල් යාමට එකම කලිසමක් හා කමීසයක් තිබීම හා කැඩෙට් සාජන් ලෙස යාමට මොරිස් ෆර්ඩිනන්ඩෝගෙන් සපත්තු ලබාගැනීම ආදිය ඔහු පවසන්නේ සාර්ථකත්වයට දරිද්‍රහාවයට ගැටලුවක් නොවේය යන ඔච්චමක් සමගිනි.   

ලයනල් නිතොරම සිනහවෙන් මුව සරසාගත් වචන භාවිතයෙන්ම කෙනෙකු සිත් බැඳගැනීමට හැකි අයෙකි. “ප්ලීස් ෂට් අප්‍ යුවර් රේඩියෝ” හා සිංහල ගුරු හේරත් මහතා රා බී පැමිණීම වැනි සිද්ධීන්  ඔහුගේ මේ ස්වභාවයට උදාහරණය. මේ අනිකා ‘ඇන්දීමට’ හෝ ;මූනිච්චාවට’ නොවන ඔහු පවසන සිද්ධීන්ගෙන් පැහැදිලිවේ. එය ඔහු ළමා අවදියේ සිටම ලබා සිටි හැකියාවකි.   

            විශිෂ්ට කලාකාරිනියකවූ ලයනල්ගේ බිරිඳ සෝමලතා සුබසිංහ නිසාමත්, ලයනල්ට ආවේනිකවූ හැසිරීම්ත් නිසා කලාකරුවන් ඇසුරට අවස්ථා ලයනල්ට ලැබීමෙන් ඔහුද කලාකාමිත්වයට බරවීම පුදුමයක් නොවේ. ඒ නිසාමදෝ කලාකරුවන් ඇසුර, කලා කෘතීන් සමග බැඳීම්, රඟපෑම්, ටවර් හෝල් වර්ධනයට අතහිත දීමෙන් ලයනල්ගේ ජීවිතයම කලා  කෘතියක් බවට උද්දීපනයවේ.  

              ලයනල් රාජකාරියේදී “සීරියස්” වුවද, එදිනෙදා දිවියේදී එසේ නොවීයයි සිතමි. ඔහුගේ සරලබව පොතේ මාතෘකා වලිනුත් පෙනේ. මීට වඩා විශ්ලේෂනාත්මකව චරිත කතාවක් ලිවීමට ඔහු සිතාගෙනදෝ චරිතාදාපනයට මේ රචනා රටාව ගෙනාවේයයි සැනසුමක් ලබමි. විශ්ලේෂනාත්මක ග්‍රන්ථයක් ඔහුගෙන් එළිදැක්වෙන තුරු මම නිහඬ වෙමි.

‘A Man for All Seasons ලයනල් ප්‍රනාන්දු’ කෘතිය දොරට වැඩුම

RECENT ARTICLES - SINHALA

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...