ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ව්‍යාජ ගිණුම් නිර්මාණය කරමින් රාගම තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ 21 හැවිරිදි තරුණයෙක් පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුට ව්‍යාජ ෆේස්බුක් ගිණුම් 50ක් පමණ ඇති අතර පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඒ ඔස්සේ තරුණියන් රැසකගෙන්ම ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවයි.
රාගම ප්‍රදේශයේ පදිංචිව සිටින 22 හැවිරිදි තරුණියකගේ ෆේස්බුක් ගිණුමේ වසර දෙකක පමණ කාලයක් මිතුරෙකු ලෙස සිටි තරුණයෙක් ඇයට අවස්ථා කිහිපයකදීම ආදර සබඳතාවයක් ආරම්භ කිරීමට යෝජනා කර තිබුණු අතර ඇය එම ආරාධනය ප්‍රතික්ෂේප කර තිබුණා.
මේ අතරවාරයේ එම තරුණිය සිය පෙම්වතා සමග ඔවුන් දෙදෙනාගේ ඡායාරූපද ෆේස්බුක් වෙත එක් කර තිබූ අතර එම ඡායාරූප දැක උරුණ වූ ඇයට කැමැත්තෙන් සිටි තරුණයා, ව්‍යාජ කාන්තා ෆේස්බුක් ගිණුමක් ඔස්සේ ඇගේ නිරුවත් ඡායාරූප ඇතුළත් වෙබ් අඩවියක Link එකක් අදාළ තරුණියට පණිවුඩයක් ලෙස යොමු කර තිබුණා.
නමුත් එම Link එක විවෘත නොකර එය පරීක්ෂා කර බලන ලෙස ඉල්ලමින් අදාළ තරුණිය එය සිය පෙම්වතාට එම පණිවිඩය යොමු කර තිබෙනවා.
පසුව ඇගේ පෙම්වතා එම Link එක විවෘත කිරීමත් සමග පෙම්වතාගේ ෆේස්බුක් ගිණුමට අනවසරයෙන් ප්‍රවේශ වීමට සැකකාර තරුණයාට අවස්ථාව ලැබී තිබෙනවා.
පසුව පෙම්වතා සිය පෙම්වතිය සමග සිදුකළ සංවාදයට පිවිස, දෙදෙනා හුවමාරු කරගත් තරුණියගේ ඡායාරූප බාගත කරගෙන ඒවා නිරුවත් ලෙස සංස්කරණය කිරීමට සැකකාර තරුණයා පියවර ගෙන තිබුණා.
පසුව සැකකරු එම නිරුවත් ඡායාරූප තරුණියට යොමු කරමින් ඇගේ නිරුවත් වීඩීයෝ දර්ශන ඉල්ලා ඇති බවද වාර්තා වෙනවා.
නිරුවත් වීඩීයෝ, සැකකරුට ලබා නොදුනහොත් සංස්කරණය කරන ලද ඇගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යය වෙත මුදාහරින බවට ඔහු අදාළ තරුණියට තර්ජනය කර තිබෙනවා.
ඒ අනුව අදාළ තරුණිය මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබුණා.
ඉන් පසුව පොලිස් උපදෙස් අනුව සැකකරු අල්ලා ගැනීම සඳහා තරුණිය මාර්ගයෙන් සැකකරුට පිළියන්දලට පැමිණෙන ලෙස පණිවුඩයක් යවා තිබෙනවා.
තරුණිය මුණගැසීම සඳහා ඉකුත් සෙනසුරාදා පිළියන්දල බස් නැවතුම්පොළට පැමිණි අවස්ථාවේ සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලීසියට හැකි වුණා.
මෙලෙස අත්අඩංගුවට පත්වුණේ 21 හැවිරිදි හික්කඩුව ගෝනාපිනුවල පදිංචි තරුණයෙක්.
සාමාන්‍ය පෙළ විභාගයට පමණක් පෙනී සිට ඇති මොහු කිසිදු පරිගණක දැනුමක් නොමැති අයෙක් වන අතර වෙනත් පුද්ගලයින්ගේ ෆේස්බුක් ගිණුම්වලට අනවසරයෙන් ප්‍රවේශ වීම පිළිබඳ ඔහු අන්තර්ජාලය ඇසුරෙන් හදාරා ඇති බවද වර්තා වෙනවා.
ඔහු ජා ඇළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට යන බව දෙමාපියන්ට පවසා පිළියන්දලට පැමිණ තිබුණා.
ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ තරුණියන් රැසකගෙන් මොහු ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත භාර දී තිබෙනවා.