33 C
Colombo
Thursday, April 18, 2024

රැජිණගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍යයේ සිදුවෙන අපූරු දේවල්

- Advertisement -

බ්‍ර්තාන්‍ය පවුම් බිලියන 4 ක් එනම් රුපියල් බිලියන 1800ක් පමණ වටින රැජිණට අයත් රාජකීය ඔටුන්න සහ අනෙකුත් මුතු මැණික් දියමන්ති ඇතුලු රාජකීය ආභරණ මෙන්ම බ්‍රිතාන්‍ය පවුම් බිලියන 23 ක් එනම් රුපියල් බිලියන 10000 ක් පමණ වටින රාජ මාළිගා ඇතුළු රැජිණට අයත් දේපළ කිසිවක් ඇය රැගෙන යන්නෙ නැත.

ඇත්තටම ඒවට කුමක් සිදුවේද…?

රැජිණ මියගිය පසු සිදුවෙන රාජකීය ක්‍රියාපිළිවෙත, ඉතා කුතුහලය දනවන සිත්ගන්නා ක්‍රියා දාමයක්.
එය හඳුන්වන්නෙ “Operation London Bridge ”ලෙසයි.

එළිසබෙත් මහ රැජිණ මිය ගිය පසු සිදුවන පළමු ක්‍රියාව වන්නේ, බකිංහැම් මාළිගයේ තිබෙන,
එම රැජිණිය විසින් දෙස් විදෙස් අමුත්තන් පිළිගන්නට භාවිතා කරන ලද රාජකීය ආසනය සහ රැජිණිය සංකේතවත් කරන රාජකීය සෙංකෝලය කලු රෙදි වලින් වසා දැමීමය.එමෙන්ම රැජිණියගේ “රාජකීය ආරක්ෂක බළ සේනාව ” වන බ්‍රිතාන්‍ය හමුදාවේ රාජකීය ආරක්ෂක සෙනඟට අමතරව, රැජිණියගේ ගුර්කා රෙජිමේන්තු සහ මැරීන් කමාන්ඩෝ සේනාංක බකිංහැම් මාළිගය, ශාන්ත ජේම්ස් මාළිගය අවට ආරක්ෂාව තර කරන අතර,රැජිණියගේ රාජකීය ඔටුන්න හෙවත් වසර 177 ක් පැරණි “ඉම්පීරියල් ස්ටේට් ක්‍රවුන්” යන නිළ නාමය සහිත ඔටුන්න තබා තිබෙන ලන්ඩන් කුළුණ (Tower Of London ) තාවකාළිකව විශේෂිත අගුළු යොදා සීල් තබනු ලැබේ.මේ චාරිත්‍රය 16 වැනි සියවසේ සිට එන චාරිත්‍රයකි.රජෙකු හෝ රැජිණක මියගිය විට, අලුත් රජු හෝ රැජිණ පත්වනතුරු, රාජකීය ඔටුන්න සහ අනෙකුත් මෞලී ආභරණ තිබෙන ගබඩාව මුද්‍රා තබා, දැඩි රැකවල් මැද තබනු ඇත. (එම රාජකීය ඔටුන්න ඇතුළු සමස්ත ආභරණ වල වටිනාකම පවුම් බිලියන 4 ක් , එනම් රුපියල් බිලියන 2000 ක් පමණ වේ.. )

මීළඟට සිදුවන්නේ ඇයගේ දරු මුණුබුරු මිණිබිරියන් රහසිගතව පැමිණ, මියගිය රැජිණියගේ දෑත් සිප ආචාර දැක්වීමය.මේ අවස්ථාව පසුවන තෙක්ම, ඇයගේ රාජකීය වෛද්‍යවරයා සහ එම කාර්ය මණ්ඩලය, රාජිණිය අවසන් හුස්ම හෙලූ සයනාගාරයේ රැඳී සිටිය යුතුය.එයද ආරක්ෂණ චාරිත්‍රයකි.එහිදී පළමුවෙන්ම ඇතුළුවන්නේද, අවසානයට පිටවන්නේද, මීළඟට රාජ ප්‍රාප්ත වීමට නියමිත කෙනා වන චාල්ස් කුමාරයාය.

රැජිණියගේ මරණය ලොවට දැනුම් දෙන ක්‍රියාන්විතය ඇරඹෙන්නේ ඉන් පසුවය….

රැජිණියගේ පෞද්ගලික ලේකම් ධුරයෙහි රැඳී සිටින්නා විසින්, එම මොහොතේ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යතුමිය විසින් සිටින්නාට දුරකථනයෙන් “ඛේත භාවිතා කර” අදාළ ශෝක පණිවිඩය දැනුම් දෙනු ඇත.වත්මන් රැජිණිය වන දෙවැනි එළිසබෙත් රාජිණිය සඳහා වෙන් කර තිබෙන ඛේතය වන්නේ “ලන්ඩන් බ්‍රිජ් ඉස් ඩවුන්” ( ලන්ඩන් පාලම කඩා වැටී ඇත – London Bridge is Down ) යන්නය.

අවසන් වරට බ්‍රිතාන්‍යයේ කිරීටය වෙනස් වූයේ මීට වසර 69 කට පෙර, එනම් 1952, පෙබරවාරි මස 6 වැනිදාය.ඒ වත්මන් රැජිණගේ පියා වන, හයවැනි ජෝජ් රජුගේ අභාවය සමඟය.එදින උදෑසන 7.30 ට රජතුමා සැන්ඩ්‍රිහැම් හි පිහිටි සිය රාජකීය විවේකාගාරයේදී අවසන් සුසුම් හෙළා ඇති බව එතුමාගේ සේවකයන් විසින් මුලින් හඳුනාගෙන, ඒ බව බකිංහැම් මාළිගයට සහ අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබෙන්නේ “හයිඩ් පාක් කෝනර්” ( Hyde Park Corner ) නම් ඛේතය යොදාගනිමිනි.

ඒ මොහොතේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නා, කරමින් සිටින සියළු රාජකාරී අත්හැර මේ සිද්ධියට කැපවිය යුතුය.තද නින්දේ සිටියත් අවදිව මුලින් සිය කාර්යාලය වාර්ථා කළ යුතුය.විදේශ සංචාරයක යෙදී සිටින්නේ නම් වහාම යළි පැමිණිය යුතුය.ඉන් පසුව අග්‍රාමාත්‍යගේ නියෝගයෙන් “ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ් ( Operation London Bridge )” හෙවත් ලන්ඩන් බ්‍රිජ් මෙහෙයුම ක්‍රියාත්මක කෙරේ…

විනාඩි ගණනක් තුළ, එක්සත් රාජධානියෙන් බැහැරව පවතින, මහ රැජිණිය රාජ්‍ය නායිකාව වශයෙන් කටයුතු කරන දේශයන් සහ කළාපයන් 15 ක ආණ්ඩු වලට, මෙම අභාවය පිළිබඳව පුවත සැල කරනු ලබයි.මේ සඳහා විනාඩි 45 කට වඩා කල් නොගත යුතුය.එයද ආරක්ෂණ උපක්‍රමයකි.
( එකී දේශයන් සහ කළාප වන්නේ -ඇන්ටිගුවා සහ බාබියුඩා,ඔස්ට්‍රේලියාව,බහාමාස් රාජ්‍යය, බාබඩෝස් රාජ්‍යය, බෙලීස්, කැනඩාව, ග්‍රේනාඩාව, ජැමෙයිකාව
නවසීලන්තය, පැපුවා නිව් ගිනියාව, ශාන්ත කිට්ස් සහ නෙවිස්, ශාන්ත ලූසියා, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනේඩන්ස්, සොලමන් දූපත්, තුවාලූ රාජ්‍යය )
අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය හොබවන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 56 ක රජයන්ටද ඊළඟ පැය තුළ පුවත දැනුම් දීම සිදුවේ.

මීළඟට සිදුවන්නේ බකිංහැම් මාළිගයේ ප්‍රධාන ගේට්ටු අසළ රාජකීය ලාංඡනය සහ රාජ්‍ය ලාංඡනය යන ද්විත්වය කලු පැහැ පසුබිමක මුද්‍රණය කරන ලද සංකේත පුවරුවක් තබා, එහි රාජකීය අභාවය ගැන පණිවිඩය සටහන් කිරීම සහ එක්සත් රාජධානිය පුරා නගරවල නගරාධිපතිවරුන්ට සහ අනෙකුත් පුර ප්‍රදානීන්ට, ගම්පතියන්ට රාජකීය අභාවය පිළිබඳව පණිවිඩය යැවීමය.අතීතයේදී නම් මේ සඳහා කලු අශ්වයන් මත නැගී ගත්, කලු හැඳගත් පණිවිඩකරුවන් ලන්ඩනයෙන් පිටව බ්‍රිතාන්‍යයේ දසතට දුවන අතර, වත්මනේදී ඒ සඳහා දුරකථන භාවිතා කෙරේ.

“රැජිණිය මියගියා….රජු දිගු කල් සැරදේවා !” ( “The Queen is Dead ! Long Live the King ” ) .
දෙවනි පදයේදී “ Long live ” කියා පක්ෂපාතීත්වය සමඟ දිගාසිරි පුදන්නේ ඒ මොහොතේම රාජ කිරීටයට අනුප්‍රාප්තික නව රජුටය.

මේ මොහොතේදී බ්‍රිතාන්‍ය ජාතික ධජය වන “යූනියන් ජැක් ” ධජය අඩකුඹු කෙරෙන මුත්, රාජකීය සංකේත ධජය වන “ද රෝයල් ස්ටෑන්ඩර්ඩ් ” ( The Royal Standard the United Kingdom ) ධජය අඩකුඹු කෙරෙන්නේ නැත.

“රෝයල් ස්ටෑන්ඩර්ඩ් ඔෆ් ද යුනයිටඩ් කින්ග්ඩම්” යනු එක්සත් රාජධානියේ රජු හෝ රැජිණිය නියෝජනය කරන ජය ධජයයි.එළිසබෙත් රැජිණියට එංගලන්තය, උතුරු අයර්ලන්තය සහ වේල්සය නියෝජනය කරමින් එක් ධජයක්ද, ස්කොට්ලන්තය නියෝජනය කරමින් ඊට සමාන පෙනුම තිබෙන තවත් ධජයක්ද ඇත.
මේ ධජය රැජිණිය සිටින විට බකිංහැම් ඇතුළු ඕනෑම රාජ මාළිගයකද, එතුමිය නවාතැන් ගන්නා ඕනෑම ගොඩනැගිල්ලක්ද, එතුමියගේ නිළ රථ, ගුවන් යානා සහ නාවුක යාත්‍රා වලද, ඔසවා තබනු ඇත.රැජිණිය මියගිය පසුවද, එම ධජය ඔසවා තබන්නේ ඊළඟට පත්වන රජුට හෝ රැජිණිය සංකේතවත් කරන්නටය.
එළිසබෙත් රැජිණිය මිය යන මොහොතේම, ඇය විසින් අන් අයෙකු දක්වනු නොලබන්නේ නම්, හෝ වෙනත් අසමසම නුසුදුසු කමක් නොපවතී නම්, චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස පත්වන හෙයින්, ඒ මොහොතේ පටන් ඒ ධජය එම රජු සංකේතවත් කරයි.ඒ මොහොතේ සිට මෙම පුවත පළමුව බී.බී.සී සේවයටත්, ඉන් පසුව එක්සත් රාජධානියේත්, ලොව පුරාත් තිබෙන සියළුම මාධ්‍ය ආයතන වලටත් පළමු මූලාශ්‍ර, දෙවන, තෙවන, සිවුවන මූලාශ්‍ර ඔස්සේ බෙදී යනු ඇත. එක්සත් රාජධානියේ ගුවන් විදුලි සේවාවන් වල සහ රූපවාහිනි ආයතන වල “ජාතික විපතක්” සංකේතවත් කරන ආලෝක පද්ධති පෙළක් නිවෙමින් දැල්වෙනු ඇත.

රැජිණගේ මරණය පිළිබඳව එක්සත් රාජධානියේ පළමු නිළ පණිවිඩය නිකුත් කරන්නේ බී.බී.සී සේවයයි. එම පුවත විසුරුවා හරින්නට සම්බන්ධ වන සියළු නිවේදක, නිවේදිකාවන් සහ ප්‍රවෘත්ති පසුතලයේ සිටින අය කලු පැහැ ඇඳුම් ඇඳ සිටිනු ඇත. ( එබඳු අවස්ථාවකදී ඔවුන්ට ඇන්දවීම සඳහා කලු පැහැ වස්ත්‍ර සහ ආභරණ බී.බී.සී මහගෙදර නිරතුරුව සූදානම් කර තිබේ ). එමෙන්ම බී.බී.සී ප්‍රවෘත්ති වල රූප තිරයේ දිස්වන රතු පැහැ තේමාවන් සියල්ල කලු පැහැයට හරවනු ඇත. එක්සත් රාජධානිය පුරා බොහෝ ප්‍රධාන මාධ්‍ය ආයතනද මීට සමාන බොහෝ දේ කරනු ඇත.

එදිනට එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය පුරා කඩ සාප්පු , බැංකු වැසෙනු ඇත. ප්‍රධාන මාධ්‍ය ආයතන බොහොමයක ශෝකී ස්වරයන් අඩංගු සංගීතයක් වැයෙනු ඇති අතර, රැජිණිය පිළිබඳව වාර්ථා වැඩසටහන් පමණක් විකාශය වනු ඇත. බී.බී.සිය ප්‍රමුඛ බොහෝ මාධ්‍ය ආයතන වල විනෝදාස්වාදය දනවන වැඩසටහන් එදිනට විකාශය නොකෙරේ.

රැජිණියගේ මරණය සිදුවන විටම ඇයගේ අනුප්‍රාප්තිකයා අලුත් රජු බවට පත්වන හෙයින්, එදිනට පසුදින, හෙවත් මරණ මොහොතෙන් පැය විසි හතරක් ඉකුත්ව ගිය පසුව, නව රජතුමා සිය පළමු ජාතිය ඇමතීම සිදුකරනු ඇත. මේ ජාතිය ඇමතීමට සමගාමීව ලන්ඩන් නුවර “හයිඩ් පාක්” හි රාජකීය හමුදා 1 කාළතුවක්කු රෙජිමේන්තුව, නව රජුට ආචාර කරමින් කාලතුවක්කු වෙඩිමුර 41 ක් පවත්වනු ඇත.
ඉන් පසුව අගමැතිවරයා, ඇමතිවරු, රාජ්‍ය ලේකම්වරු ප්‍රමුඛ බ්‍රිතාන්‍ය රජය සහ එහි ප්‍රාන්ත පරිපාලනයන් ලිඛිතව සහ නිවේදන මඟින් නව රජතුමාට සිය පක්ෂපාතීත්වය පළ කරනු ඇත.

එයින් පසුව ඉක්මණින්ම සිදුවන දෙය වන්නේ, නව රජතුමා ස්කොට්ලන්තයේ අගනුවර වන එඩින්බර්ග් ( එඩින්බරා ) නගරයටත් වේල්සයේ අගනුවර වන “කාඩිෆ්” නගරයටත් බ්‍රිතාන්‍ය පාලනයේ පවතින උතුරු අයර්ලන්තයේ අගනුවර වන “බෙල්ෆාස්ට්” නගරයටත් ගොස් ඒ නගරවල පාර්ලිමේන්තු සහ ප්‍රාන්ත පාලකයන්ගේ පක්ෂපාතීත්වය දිනාගෙන, ඔවුන් සමඟ සාකච්ඡා කර, නැවත ලන්ඩන් නුවරට පැමිණීමයි. එතැන් සිට දින 4 කට පසුව යුද හමුදා ගෞරව සහිත රාජකීය අවමංගල්‍ය පෙරහැරකින්, මියගිය රැජිණියගේ දේහය බහාලන ලද දෙන, අශ්ව රථයක තබා, බකින්හැම් රජ මාළිගයේ සිට වෙස්ට්මින්ස්ටර් ශාලාව වෙතට ගෙන යනු ලැබේ.

එහිදී, පළමුව නව රජතුමා ( චාල්ස් කුමරුට සිය නම වන චාල්ස් හෝ තම පෙළපතේ විසූ අතීත රජුන්ගේ නාමයක් අංක අනුපිළිවෙලට තුන්වෙනි චාල්ස් රජු) එම බිසව සහ මුල් රාජකීය දරුවන් ඇතුළු රාජකීය පෙළපත, හෙවත් “රෝයල්ස්” ලෙස ගරු නාම ලබන සියළු දෙනා පිළිවෙලින් පැමිණ රැජිණගේ දේහයට ආචාර දක්වනු ඇත. චාල්ස් රජතුමා දේහයට නිළ වශයෙන් ආචාර දක්වන මොහොත ලොවපුරා මාධ්‍යය මඟින් සජීවීව විසුරුවා හැරෙනු ඇති අතර, එහිදී ඔහු විසින් එක් දණහිසක් නමා ආචාර මුද්‍රාවෙන් හිඳ, මියගිය රැජිණට, දෙවියන් වහන්සේගේ නාමයෙන් “පාලක ප්‍රතිඥාවක්” දෙනු ඇත. මේ චාරිත්‍ර හැමවිටම සකස්ව ඇත්තේ මවගෙන් පුතුට – දුවට හෝ පියෙක්ගෙන් දරු පරම්පරාවට රජකම මාරුවෙනු ඇත කියා සළකා නොවේ. ඒ නිසා මියගිය රජුට හැමවිටම නව රජු හෝ රැජිණිය විසින් යම් ප්‍රතිඥාවක් දෙන ලෙස සිරිත් සකසා ඇත. අනතුරුව දෙස් විදෙස් නියෝජිතයන්, ප්‍රභූන් පිළිවෙලින් පැමිණ ආචාර දක්වනු ඇති අතර, ඒ සියල්ලට පසුව මහ ජනතාව සඳහා වෙස්ට්මින්ස්ටර් මැදුරත දොරටු විවරවනු ඇත.

රැජිණියගේ අභාවයෙන් දින 10 ත් 12 ත් ඇතුළත ඇයගේ අවසන් කටයුතු සිදු කෙරෙනු ඇත. රැජිණියගේ භූමිදානය සිදුවන දින උදෑසන 11 ට ලන්ඩනයේ “බිග්බෙන්” ඔරලෝසුවේ සීනු පද්ධතිය නොකඩවා නාද වීම අරඹනු ඇත. මහේශාඛ්‍ය ධජ, ලාංඡන සහ හමුදා පෙළ පෙරටු කරගත්, රෝස මලින් සරසන ලද කරත්තයක තබන ලද මහ රාජිණියගේ දේහය මුලින් වින්ඩ්සර් මාළිගයට ගෙනයනු ඇත. වින්ඩ්සර් මාළිගයේ සිදු කෙරෙන දේව මෙහෙයකින් ආසිරි ගන්වන ලද රැජිණගේ දේහය, භූමිදාන කටයුතු සඳහා අවසන් චාරිකාව ලෙස රැගෙන යන්නේ, එහිම තිබෙන ශාන්ත ජෝජ් දේවස්ථාන සොහොන් ගර්භයටයි. දෙවැනි එළිසබෙත් රැජිණියගේ පියා හෙවත් හයවැනි ජෝජ් රජුගේ සොහොන එහි තිබේ.
එම සොහොන අසළ රාජකීය සොහොන් ගර්භයක දෙවැනි එළිසබෙත් මහ රැජිණියගේ දේහය සහිත දෙන තැන්පත් කිරීමෙන් අවමංගල චාරිත්‍ර අවසන් වනු ඇත.

රැජිණගේ මරණයෙන් වසරක කාළයක් ගිය පසුව,
චාල්ස් රජුගේ නිළ අභිෂේක මංගල්‍යය පැවැත්වෙනු ඇත. එයින් පසුව බ්‍රිතාන්‍ය මුදල් ඒකකය වන පවුම් මුදල් ඒකකයේ නෝට්ටු වලට චාල්ස් රජුගේ රූපය පැමිණෙනු ඇත. දෙවැනි එළිසබෙත් රැජිණියගේ රූපය සහිත මුදල් නෝට්ටු භාවිතයෙන් ක්‍රමයෙන් ඉවත් කරනු ඇත. එමෙන්ම බ්‍රිතාන්‍ය ගමන් බළපත්‍ර සහ වෙනත් රාජකීය ලියැවිලි වලටද චාල්ස් රජුගේ රූපය එනු ඇත. බ්‍රිතාන්‍ය එක්සත් රාජධානියේ ජාතික ගීය “God save the Queen ” , God save the King ලෙස වෙනස් කෙරෙනු ඇත.

SOURCE –

Official website of the British Royal Family

  • සටහන සම්පාදනයේ අයිතිය එහි මුල් අයිතිකරු සතුය.

RECENT ARTICLES - SINHALA

බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡාවලට IMF සහය

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාවේ සාකච්ඡා සඳහා සහාය වීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු සඳහන් කර...

සැකකරුවෙක් උසාවි භූමියේදී පැනලා ගිහින්

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාරීන්ගේ මිදී පලා ගොස් තිබෙන බවට වාර්තා...

ජාතික ජන බලවේගයේ පිරිසක් කාදිනල් හිමි හමුවට

'පාස්කු ඉරුදින' ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වෙත...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...